17 දුනුකාරයෝ
නෑදෑයෝ සේරම එකතුවෙන දවස අද බව පාන්දර ඇහැරුන වහාම මට දැනුනා. වටින් ගොඩින් එලිය වැටීගෙන එනකොට මම මූන කට සෝදාගෙනත් ඉවරයි. අද කරන්ට බොහෝම වැඩ ගොඩක් තියෙන නිසා මම හිතුවා උදව්වට කවුරුවත් හිටියොත් හොඳයි නේද කියලා. කම්මලේ වැඩේට ගොයිරාල අල්ලාගත්තොත් ලේසියි. හැබැයි උන්දෑ වගේ වැඩිහිටියෙකුට ඇඟ මහංසිවෙන වැඩට කතා කරන්ට මං කැමති නෑ. අංතිමට ගොයිරාලගේම නෑදෑයෙක් වෙන කිරිහොඳාට කතාකරන්න හිතා ගත්තා. කිරිහොඳාට මමත් උදව් කරලා තියෙනවා මිනිහගේ හේනේ වැඩ වලට. කරත්තේ රෝදේ වැඩේට එයා කම්මලට ඇරියොත් අත් උදව්වට, මට පුලුවන් අප්පච්චිලා එහෙම එන එකට ලෑස්ති වෙන්ට. ඒ වැඩවලට ටිකිරිත් ගාවා ගත්තොත් අද දවසේ වැඩ ඒ තරම්ම අමාරු වෙන්නෙ නැතිවෙයි කියලා මට හිතුනා.
කිරිහොඳාටයි කම්මලටයි කතා කරලා ඒ වැඩේ වෙන්ට සලස්සලා මම ගොයිරාලගෙ ගෙදර ආවා උදේට මොනවත් කන්ට. මට ඕනෑවෙලා තිබුනේ ගොයිරාලයි උපාසකම්මයි එක්ක කතාකරලා බලන්ට මම නෑදෑයෝ බලාගන්ට කරන්ට ඕනෑ දේ ගැන. තම්බපු කොල්ලු ටිකක් කාලා කොල්ලු තම්බපු වතුර ටිකකුත් බීලා තමා මම මගෙ හිතේ තිබුන දේ කිව්වේ.
“අපෙ පවුලේ සේරම අද හවස් වෙනකොට එනවා. ඒ අය එනකොට බොහෝම මහන්සියෙන් ඉඳියි. මං බැලුවේ කොහොමද ඒ අය සේරම බලාගන්නේ කියලා”
“කවුරු කවුරුද කියලා ගනං බැලුවොත්…?” ඒ උපාසකම්මා.
“මගෙ අම්මයි අප්පච්චියි පුංචි මල්ලියි එනවා සීගිරියෙන්. ඒ එක්කම රිටිගල ලොකුහාමුදුරුවොත් එනවා - ඒ උන්නාන්සේ අපෙ ලොකු අත්තගෙ මල්ලී. ලොකු අත්තගෙ නංගී එනවා තඹුත්තේගම ඉඳන්. උන්දැගෙ දුවයි, බෑනයි මිනිබිරියි දැනටම මෙහෙ. ඉන්නේ වෙද ගෙදර, ලොකු අත්තත් එහෙ….වෙද නිලමේ කිව්වා ලොකු අත්තටයි ඒ අත්අම්මලාගෙ කට්ටියයි එහෙම ඉන්නවා කියලා. අම්මටත් එහෙ තමයි ඉන්ට වෙන්නේ. ලොකු හාමුදුරුවෝ පංසලේ ඉන්නේ. අප්පච්චියි මල්ලියි මගෙ ගෙදර එක්ක එනවා. වෙද ගෙදර සෙනග වැඩී කියලා මට හිතෙන්නේ…”
ගොයිරාල මිදුල දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ උගුර පාදලා කතා කරන්ට පටන්ගත්තා.
“සෙනග වැඩිම වෙන්නේ වෙද ගෙදර…ඇලවෙන්ට තැනක් විතරක් නෙවෙයි කෑම බීම ගැනත් බලන්ට ඕනෑ….උය පිහා ගන්ට බවලත් උදවිය හිටියට ඒකට ඕනෑ අඩු පාඩු ගැන බලන්ට ඕනෑ … හාල්, පොල්, කුරහං, ඇට ජාති, මස් මාලු එහෙමත් - ඕනැනම්, එලෝලු වගේ දේ නැතුව බෑ….හැබැයි අපි මෙව්වා ගිහින් දුන්නොත් වෙද නිලමෙට ඒක මදිකමක් හැටියට දැනෙයිද?”
ගොයිරාලගෙ කතාවේ ඇත්තකුත් තියෙනවා. වෙදා ලොකුඅත්තගෙ පවුලේ අයට සලකන්ට කැමතී - පරන යාලුවෝ වගේ. නමුත් උන්දැටත් ගෙදර උයන්ට ඉන්න කොල්ලටත් ඇරුනුකොට වෙන කාටවත් කෑම හදලා නෑ ඒ ගෙදර අවුරුදු ගානකින් - ටිකිරිලා එහෙ එනකම්. ඕනෑ බාජන එහෙමවත් තියෙනවද දන්නෙ නෑ. නමුත් වෙදා මේවාගැන හිතන්නෙ නෑ. කොල්ලට කියයි “උදේට කොල කැඳ” කියලා - කොල්ලා ඉතුරුටික කරන්ට ඕනෑ.
“ඒක ඇත්ත….වෙදා කැමැති නැතිවෙයි කෑමට ඕන දේ පිටින් ගේනවට….මට පුලුවන් හාල් පොල් වගේ දේ පස්සා දොරෙන් ගිහින් උයන කොල්ලට දෙන්ට. ටිකිරි නංගී එහෙමත් ඉන්න හිංදා ඒක අමාරු නෑ…” මගෙ මූනට පොඩි හිනාවකුත් ආවා. ඒක උපාසකම්මා දැකලා පොඩ්ඩක් හිනා උනා.
“දොහක් ඒ මැනිකේ දකින්ටත් ආසයි….”
ගොයිරාල ආයෙත් උගුර පාදලා කතාව පටන්ගත්තා, උපාසකම්මා තව මොකවත් කියන්ට ඉස්සර.
“අර ගුනයා බතල, වැල්අල එහෙමයි පලා ජාතියි පොලට ගේනවා. මට පුලුවන් මිනිහට කද ඇරගෙන වෙද නිලමෙගෙ ගෙදර පැත්තෙන් යන්ට කියන්ට දවසක් ඇර දවසක්වත්. නිලමෙලගෙ ගෙදර ඇත්තංට එතකොට පුලුවන් කෙලින්ම ගුනයගෙන් ඕන දෙයක් ගන්ට…”
“ඒක තමා උත්තරේ…මම ඒ අයට කියන්නම්…”
“දවාලට මොකවත් කන්ට එනවද?” ඒ උපාසකම්මා.
“නෑ…හරියට වැඩ තියෙනවා…මම පන්සලෙන් තව පැදුරු කීපෙකුයි පොල් අතු ටිකකුයි ගෙනියන්ට ඕනෑ වෙද නිලමෙගෙ ඉස්සරහ මඩුව ටිකක් දික් කරලා දාන්ට”
“යං මාත් එන්නං මේ කෙහෙල්කැනත් ගිහින් දීලා දුනුකාර නිලමෙත් බලලා එන්ට නැගිටලා එලියට එන්ට පුලුවන්නම්…” ගොයිරාල නැගිටා. උන්දෑ දන්නවා වෙද ගෙදර ඇතුලට යන එක නොවෙන දෙයක් කියලා.
අපි යනකොට වෙද ගෙදර අය තවම උදේ කොල කැඳ බොනවා. වෙද ගෙදර මම නැවතිලා හිටි දවස් වලත් උදේට කොල කැඳ නැතුව බෑ. විජේරත්න වෙදයි කිරිහාමි මාමයි මිදුලේ බංකුවේ, සීලවතී නැන්දා පිලේ. ලොකුඅත්තා පේන්න නෑ - තවම කාමරේ නිදි ඇති. ටිකිරි මුට්ටියකුයි පොල්කටු හැන්දකුයි ඇරගෙන අනික් අයට කැඳ බෙදනවා. මං දැකපුගමන් ටිකිරි නැවතිලා හිනා උනා.
“අයියා කැඳ ටිකක් බොමු?”
“නෑ නංගී මම උදේට කාලා ආවේ….ගොයිරාල කැඳ?”
“නෑ නිලමේ දැන් බෑ…දුනුකාර නිලමෙට දැන්….?” ප්‍රශ්නේ ඇහුවේ වෙදාගෙන්.
“අද නං ටිකක් හොඳයි වගේ පුංචිකිරෝ….කෙල්ලේ මේ කිරාට කැඳ පොල් කට්ටක්…”
ගොයිරාල කෙහෙල්කැන පිලේ තියලා කැඳ පොල්කට්ටත් අරන් මිදුලේ කොනට ගියා. මම ගේ ඇතුලට ගියා ලොකුඅත්තා බලන්ට, ටිකිරි පස්සේ. ලොකුඅත්තගෙ කාමරේට යන්ට ඉස්සර මම නැවතිලා ගොයිරාල කවුද කියලා ටිකිරිට කිව්වා.
“ඔය ගොයිරාලගෙ ගෙදර තමා මං හිටියේ ලොකුඅත්තා අනුරාදපුරෙන් ගියාට පස්සේ. පංසලේ බෙරකාරයා…දැන් ඒ වත්තට අල්ලලා තමා මගෙ කෑල්ල තියෙන්නේ”
“අඩුකුලේ නේද?”
“ඔවු…හැබැයි ලොකුඅත්තට ඇහෙන්ට කියන්ට එපා. උන්දෑ තමා මං එහාට බාර දුන්නේ. මං කෑවේ බීවේ එහෙන්. ගොයිරාලගෙයි උපාසකම්මගෙයි දුවට මම නංගී කියන්නේ” මේවා දැන්මම කියලා තියෙන එක හොඳයි, ආයෙ පස්සට කරදර නොවෙන්ට.
“අයියත් බෙර ගහන්ට ඉගෙනගත්තද?” මූනේ පොඩි හිනහවක්.
“ටිකක්…ඊට වැඩිය ගොයිකම ඉගෙනගත්තා”
“මං කැමතී අයියගෙ ඉඩමත් බලන්ට” ටිකිරි කිව්වේ බිම බලාගෙන.
“ලඟදිම පුලුවන්….ටිකිරි” තව කතාකරන්ට දේ කොච්චර මගෙ හිතේ තිබුනත් අපි වෙන කිසි දෙයක් නොකියා ලොකුඅත්තගෙ කාමරේට එබිලා බැලුවා.
“මෙහාට වරෙල්ලා මට පේන්ට…” ලොකුඅත්තගෙ කටහඬ ටිකක් සද්දෙන් අඩු උනාට තේරුම් ගන්ට අමාරු නෑ.
අපි දෙන්නම ඇඳලඟ දනගහලා වැන්දා.
“අත්තට කැඳ ටිකක් ගේන්ටද?” ටිකිරිට ඕනෑ උනේ මට ලොකුඅත්තත් එක්ක කතාකරන්ට ඉඩදීලා අයින්වෙන්ට. ඒක ලොකුඅත්තටත් තේරුනා.
“පොඩ්ඩක්…”
“ඉතින් සිරී? මගෙ කාලේ ඉවරයි කියලා හිතුනද?”
“අපි සේරම බය උනා ලොකුඅත්තා, එදා මිහින්තලේ හිටිය හැටියට…ලොකුඅත්තා දන්නවද රිටිගල හාමුදුරුවෝ අපෙ අප්ප්ච්චිලත් එක්ක අද රෑවෙන්ට ඉස්සර එනවා කියලා? ලොකුඅත්තගෙ නංගිත් තඹුත්තේගම ඉඳන් අද එනවා….දුනුකාර පවුලේ ඔක්කොම අද රෑ මෙහෙ….”
ලොකුඅත්තා මා දිහා බැලුවේ ඇස්වල කඳුලු පුරවාගෙන.
“සිරීට ආයෙ මගෙන් ඉගෙනගන්ට දෙයක් නෑ....මෙහෙ වැඩටික සංවිධාන කරලා තියෙන හැටියට පේනවා ආයෙ කරදරයක් වෙන එකක් නෑ කියලා…දැන් තියෙන්නේ පුලුවන් තරම් දැනට මොලෙන් කරන්ට පුලුවන් දේ හොඳට තව පුරුදු වෙන්ටත් අලුත් දේ හොයාගන්ටත්….ටිකිරි කෙල්ලත් ඉන්න නිසා අමාරු වෙන එකක් නෑ…”
මට සංතෝසයි ඒ කතාවට.
“අත්තට නැගිටින්ට පුලුවන්ද?...අර ගොයිරාලත් ඇවිත් ඉන්නවා…”
“පුංචිකිරා?...මට ඔය හැරමිටිය දුන්නානං?”
ලොකුඅත්තා එලියට එනකොට ඉස්සරහ හිටපු සේරම නැගිට්ටා. ඉස්සරවෙලාම කතාකරේ වෙදා.
“දුනුකාර නිලමේ මෙතනින් වාඩිඋනානම්….”
“මාමා….ලොකු මාමා අපෙ අම්මගෙ ලොකු අයියා….මම සීලවතී…” නැන්දා ලොකුඅත්තට දනගහලා වැඳලා එතනම පිලේ වාඩි උනා. කිරිහාමී මාමත් කොන්ඳ නමලා ලොකුඅත්තට වැංදා.
“මම ටිකිරි කෙල්ලගෙ අප්පුච්චී - කිරිහාමී”
ලොකු අත්තගෙ ඇස් දෙකෙන් ආ කඳුලු කම්මුලේ පහලට ගලනවා නමුත් පිහදාගන්ට වගක් නෑ. අංතිමට කතා කලේ ඈත පෙනෙන ගස් දිහා බලාගෙන.
“බිසෝ නංගිත් එනවා කියලා සිරී කිව්වේ?”
“ඔව් මාමා - අද රෑ වෙනකොට එයි”
“මලයා එහෙමත් එනකොට රෑ වෙයිද සිරී?”
පිලේ කොනේ වාඩිවී හිටි මම නැගිටලා ලොකුඅත්තා ඉස්සරහට ආවා.
“ඉර බහින්ට ඉස්සර එයි ලොකුඅත්තා. මෙහාට කිට්ටුවෙනකොට මට කියනවා කියලා ලොකුහාමුදුරුවෝ කිව්වා - මම මහ පංසල ලඟට ගිහින් කට්ටිය හම්බුවෙනවා”
ලොකුඅත්තට කතාකරන්ට තව බොහෝම දේ තියෙන බව පෙනුනා. නමුත් ගොයිරාලත් එක්ක කතා කරන එකත් වැදගත් - ලෙඩ බලන්ට ආපු කෙනෙක් හැටියට.
“ඉතින් පුංච්කිරෝ…කොහොමද ගෝලයා වැඩ මොකවත් ඉගෙන ගත්තද?”
“නිලමේ…ඒ අතින්නම් කිසිම අඩු පාඩුවක් උනේ නෑ….නිලමේ කිව්වා වගේම තමා…දැන් නිලමෙට ඇඟට කොහොමද? මගෙන් කෙරෙන්ට දෙයක් තියෙනවානම්….”
“සිරී බලාගත්තට මගෙමුයි කෙරෙන්ට ඕනැ දෙයක් කෙරෙන්ට තියෙන්නේ…”
මට හිතුනා මේක හොඳ වෙලාවක් කියලා අළුතෙන් එන අය නවතින තැන් ගැන. මං හිතාගෙන හිටියේ ඉස් ඉස්සරවෙලා ටිකිරිත් එක්ක කතාකරගෙන ඊට පස්සේ වෙදා එක්ක කතා කරන්ටයි. නමුත් දැන් ඒකට වෙලා නෑ. මම කෙලින්ම වෙදාට කතා කරා.
“මං බැලුවේ එන අය නවතින්නේ එහෙම කොහෙද කියලා….අප්පච්චියි තිස්සයි මම මගෙ පැලට එක්ක යනවා. ඒක දැනටමත් ලෑස්තියි, මේ ගොයිරාලට පිං සිද්ද වෙන්ට….ලොකු හාමුදුරුවෝ පිරිවෙනේ නවතිනවා කිව්වා. එදා වෙද නිලමේ කිව්වේ අනික් අයට මෙහෙ නවතින්ට පුලුවන් කියලා…ගොයිරාලයි මමයි හිතුවේ වෙද නිලමේ කැමතිනං අපි දෙන්නට මේ මඩුව ටිකක් ලොකු කරන්ට පුලුවන් කියලා“
සේරම අය වෙදා දිහා බැලුවා.
“දුනුකාර නිලමෙයි කිරිහාමී ලොක්කයි මෙහෙ ඉන්ටම ඕනෑ - මගේ ලෙඩ්ඩු හැටියට - වෙන කොහෙවත් යන්ට බෑ තව දවස් කීපේකට. සීලවතියි ටිකිරි කෙල්ලයි ඉන්ට ඕනෑ සාත්තුවට……ඒ දැන් ඉන්න කට්ටිය. බිසෝ මැනිකෙත් ආපුහම මෙහෙ ඉන්ට ඕනෑ වෙද හෙද කමට උදව්වට….”
වෙදා ආයෙත් ටිකක් හිතලා ගෙට ටිකක් ඈතින් එක පැත්තක තිබුන පරන මඩුව පැත්තට අත දික් කරා.
“මම කැමැතියි ගිය උන වසංගතේ කාලේ හදාපු අර මඩුව ආයෙත් එක විදිහක් කර ගන්ට. දැන් ඒකේ ලී, පොල් අතු එහෙම දාලා තිබුනට ඒ දවස් වල හය දෙනෙක් ඒකේ වැටිලා හිටියා. ඒක සුද්ද බුද්ද කරලා පොල් අතුවලින් බාග බිත්තියක් හැදුවොත් ලෙඩ්ඩු දෙන්නටයි මටයි ඒකේ නිදා ගන්ට පුලුවන්. ඕනෑ නම් සිරීගෙ පවුලේ පිරිමින්ටත් එතන ඉන්ට පුලුවන්….”
“එතන තියෙන ලී එහෙම පාවිච්චි කරාට කමක් නැද්ද?”
“කමක් නෑ …. එතන හොඳ ලෑලි එහෙමත් තියෙනවා ඕනැ නම් නිදන්ට ඇඳං වගේ මැසි ගහන්ට….අර වේලෙන ගල් ඇහැ මිටි ටික ඇතුරුවොත් හොඳ හැඩේට තියෙයි”
ගොයිරාලයි මමයි මඩුවේ තිබුන බඩු එලියට අදින්ට පටන්ගත්තේ සීලවතී නැන්දටයි ටිකිරිටයි පොල් අතු වියන එක බාර දීලා. ලොකුඅත්තා වෙනදා වගේම ඕනෑවෙන කනු පරාල රීප්ප එහෙම ගනන් හදලා දුන්නේ උන්දැට ඕනෑ විදිහට මඩුව හැදෙන්ටයි. කිරිහාමී මාමට වැඩිය මහංසි වෙන්ට බැරි උනත් පිහියේ උදැල්ලේ වැඩ වලට බොහොම දක්ශයි - උන්දෑ තමා වහලෙටයි වටේ බිත්ති වලටයි පුවක් ලී ගෑවේ.
අංතිමට මඩුවෙයි වැසිකිලි දෙකකයි වැඩ ඉවර වෙනකොට සේරටම මහංසියි. වෙදාගේ අණ අනුව ලොකුඅත්තයි කිරිහාමී මාමයි ටිකක් හාන්සිවෙන්ට ගියා. වෙදයි, ගොයිරාලයි මමයි හෙවනේ වාඩිවෙලා තැඹිලි බිව්වා. එතකොට නැන්දයි ටිකිරියි දවල් කෑම ලෑස්ති කරන්ට ගිහින්. මගෙ ඇඟේ මහංසිය නිසාද කොහෙද මට මතක් උනා අප්පච්චිලාට කොයි තරං මහංසි ඇතිවෙයිද කියලා අනුරාදපුරේට එනකොට.
“අද අප්පච්චිලා මෙහෙ එනකොට හොඳටම මහංසි ඇති නිසා ඒ අය අදරෑ මෙහෙ හිටියට කමක් නැද්ද? හෙට මං මගෙ හේනට එක්ක යන්නං…..”
“මාත් හිතුවේ ඒකයි සිරී….දැන් අපිට නිදාගන්ටත් තැනක් තියෙන හිංදා ඕනැනම් ගෙදර ගිහින් එන්ට, රෑ මෙහෙ නිදාගන්ට….”
මම වහාම ගොයිරාලත් එක්ක පිටත් උනා. මට හිතුනේ ගොයිරාලගෙ ගෙදරින් මොකවත් කාලා, රෑට නිදන්ටයි බුලතට ඕනෑ අඩුපාඩු එහෙම ටිකකුයි අරගෙන ආපහු එන්ට, ලොකුහාමුදුරුවෝ මට කතා කරන්ට ඉස්සර. නමුත් උනේ ඒක නෙවෙයි. අපි දෙන්නා වැව් කන්ඩිය දිගේ ටිකක් දුර යන්කොට මට ඇහුනා ටිකිරිගෙ කට හඬ.
“අයියට කතා කරන්ට පුළුවන්ද?”
මම ගොයිරාලට යන්ට කියලා ගහක හෙවනේ නැවතුනා.
“ඇයි ටිකිරි?” මට පේනවා ටිකිරි හිටිහේ අළුත හදපු මඩුව පිටිපස්සේ, හිනා වෙවී.
“අත්අම්මා ඇවිල්ලා! මට කතාකරේ සිරිමහ බෝදිය ලඟ ඉඳලා. අයියා ඔතන ඉන්නවද මං එනකන් - අපි දෙන්නට පුළුවන් ගිහින් එක්ක එන්ට?”
මට හරි සන්තෝසයක් දැනුනා ටිකිරිත් එක්ක ඇවිදින්ට යන එක ගැන. ඊටත් වැඩිය සන්තෝසේ ටිකිරිම මට හඬගැසීම. ටිකිරි එතෙන්ට එනකමුත් මගෙ මූනේ හිනහව මැකෙන්ට නැතුව ඇති.
“නැන්දම්මා මොකවත් කිව්වෙ නැද්ද පැනගන එහෙමෙහෙ යන එක ගැන?” මං මේක ඇහුවේ හිනහවෙවී.
“මං අම්මට තමා ඉස්සරවෙලාම කිව්වේ අත්අම්මා ඇවිත් කියලා. අයියත් එක්ක ගිහින් එක්ක එන්ටද කියලා අහනකොට අම්මා නම් ඒතරම් කැමැති පාටක් පෙන්නුවෙ නෑ හැබැයි අප්පුච්චයි ලොකු අත්තයි දෙන්නම කිව්වා ඒක හොඳ අදහසක් කියලා, අයියා මේ පලාතත් දන්න නිසා…...”
“මාත් හිතන්නේ ඒක හොඳ අදහසක් කියලා” මම කිව්වේ ටිකිරි දිහා බලාගෙන.
“මාත් හිතන්නේ එහෙමයි….” ටිකිරි කිව්වේ බොහොම හිමින්.
………………..
ටිකිරිගෙ අත්අම්මත් අපෙ ලොකුඅත්තා වගේ කෙට්ටුයි, හරි කඩිසර පාටයි. උන්දෑ උපාසකම්මා කෙනෙක් වගේ ඇඳගෙන ගල්පඩියක් උඩ වාඩිවෙලා බුලත් විටක් කොටමිනුයි හිටියේ අපි එතෙන්ට කිට්ටු වෙනකොට.
“මං දැක්කා උඹලා දෙන්නා එනවා වැව් කන්ඩිය දිගේ….”
හඳුනාදීම් දනගැසීම් ඉවර උන වහාම උන්දෑ ලොකුඅත්තා ගැන ඇහුවා.
“ලොකුඅයියා ආයෙත් එහෙමෙහෙ ඇවිදිනවද නැත්තම් තවම ඇඳේද?”
ටිකිරියි මමයි ලොකුඅත්තගෙ තත්වය ගැන විතරක් නෙවෙයි අනික් ආරංචිත් කෙටියෙන් කිව්වා. රෑට නවතින තැන සූදානම ඇහුනම උන්දෑ හයියෙන් හිනා උනා.
“දැන්වත් විජේරත්න අයියට රැවුල වවාගන්ට පුළුවන්ද?”
අපි වැව් කන්ඩිය ලඟට එනකොට මට රිටිගල ලොකුහාමුදුරුවෝ කතා කරා. මම ටිකිරිට නොනැවතී යන්ට අතින් උපදෙස් දීලා නැවතුනා.
“සිරී අපිට තව හැතැම්ම කීපයයි එන්ට තියෙන්නේ….පොඩි එකාට හොඳටම මහංසියි. ලොකු දෙන්නට වැඩි අමාරුවක් නෑ. ජේතවනාරාමේ පැත්තට එන්ට පුළුවන්නම් තිස්ස කොල්ලා කරේ තියාගෙන එන්ට පුළුවන්….”
“එහෙයි හාමුදුන්නේ. ලොකුහාමුදුන්නෙගෙ නංගිත් දැන් ආවා. මේ ටිකිරි නංගියි මමයි විජේරත්න වෙද ගෙදරට එක්ක යන ගමන්. සේරම අද රෑ ඉන්නේ එහෙ. තමුන්නාන්සෙත් වැඩියොත් පවුල සම්පූර්නයි…”
“සිරී….අපි එක වහලක් යට නොහිටියත් පවුල සම්පූර්නයි…නමුත් මමත් ඇවිත් අයියයි නංගියි හම්බුවෙලා රෑ පංසලට යනවා”
මම ටිකිරිට කෙටියෙන් කතාව කියලා වෙද ගෙදර පේනතෙක්මානෙට ගිහින් හැරිලා ජේතවනාරාමේ පැත්තට යන්ට පටන් ගත්තා.
….
ලොකුහාමුදුරුවොයි අප්පච්චියි අම්මයි හම්බුවෙලා ආගිය තොරතුරු කතාරලා මම තිස්ස මල්ලී කරට ගත්තා. අපි වැඩි කතාබහක් නැතුවම වෙද ගෙදරට ආවා. දුනුකාර පවුලේ එකතුව පැහැදිලිව පෙනුනේ අපි එතෙන්ට ඇවිත් සෑහෙන වෙලාවකට පස්සේ. ආපු ගමන්ම තියෙන හඳුන්වාදීම්, වැඳීම්, හැඩීම්, හිනා, ගිලන්පස, තැඹිලි, බුලත් කෑම වැනි දේ ගලකින් ගැසුවා දිමි ගොහොටයක වගේ කලබලකාරී විදිහටයි සිදු උනේ. මේ කලබලේ නැතිවී ගියේ රිටිගල ලොකුහාමුදුරුවෝ කතා කරන්ට පටන්ගත්තැන් පස්සේ.
ඉස්සරහ සාලේ මැද සුදු රෙද්දක් එලූ පුටුවකයි ලොකුහාමුදුරුවෝ වැඩ හිටියේ. වෙද නිලමෙත්, ලොකුඅත්තත් අත්අම්මත් ඒ පරපුරේ අය හැටියට උන්නාන්සේ ලඟින්ම පිලේ වාඩිවෙලා හිටියා. අපෙ අප්පච්චියි කිරිහාමී මාමයි පිලේ ඊට ටිකක් ඈතින්. අම්මයි සීලවතී නැන්දයි ටිකිරියි තිසයි මමයි මිදුලේ පැදුරු උඩ. ලොකුහාමුදුරුවෝ අපි පන්සිල් ගත්තැන් පස්සේ පොඩි දේශනයක් කරා.
“දුනුකාර පවුලේ ජීවතුන් අතර ඉන්න සියලු දෙනාම අද මෙතන එකතුවෙලා ඉන්නේ මගෙ මිත්ර විජේරත්න වෙදනිලමෙගේ ආරාධනයෙන්. ඒ වගේම මගෙ අයියත්, කිරිහාමී බෑනත් ලෙඩ උන වෙලාවේ ගෙදර ගෙනත් බලාගත්තේ මේ නිලමේ මයි. අපි නිලමෙට පිං පමුනුවන්ට ඕනෑ. පිං පමුනුවන්නේ මලගිය ඇත්තන්ට විතරක් නෙවෙයි - යම් කෙනෙකුට යහපතක් කරන ඕනෑම කෙනෙකුට පිං පමුනුවන එක අපෙ යුතුකමක්”
“මීට බොහොම කාලෙකට ඉස්සර, සෝමාවතියෙන් අනුරාදපුරේට ආ දෙමව්පියෝ නැති දරුවන් තුන්දෙනෙක් මෙතන ඉන්නවා. ඒ අයට තමා අපි ‘දුනුකාර’ කියලා කියන්නේ. මේ තුන්දෙනා අවුරුදු ගනනක් අනුරාදපුරේ ඉඳලා ආයෙත් කාලෙකට පස්සේ වෙන් වෙලා තම තමා තෝරාගත්ත පාරක් ඔස්සේ අනාගතේට ගියා. මම පැවිදි ජීවිතේට එකතු උනා. ඒක වෙලා දැන් අවුරුදු පනහකට කිට්ටුයි.”
“ඒ කාලේ පටන් දුනුකාර ලමයි තුන් දෙනාට අනික් අයට නැති බලයකුත් සහජයෙන්ම ලැබී තිබුනා - මේක රහසක් නෙවෙයි. සමහරු අපි දිහා බැලුවේ අමුතු විදිහකට - හරියට අත් තුනක් තියෙන කෙනෙක් දිහා බලනවා වගේ. අපි බොහොම කිට්ටුවෙන් හිටි නිසා වෙන්ට ඇති අපිට පුළුවන් උනේ මේ බලය සෑහෙන තත්වයකට දියුනු කරගන්ට”
“අපි පවුලේ මේක පිහිටලා තිබුන අනික් අයටත් උදව් කලා බලය දියුනු කරගන්ට. සිරියි ටිකිරියි මේකට හොඳ උදාහරන….නමුත් අපි මෙතෙන්දී මතක තියාගන්ට ඕනෑ මේ දෙන්නට උදව් කරපු අනික් අය ගැන…..කලු බංඩයි ටිකිරි මැනිකෙයි එක පැත්තකින්, සීලවතියි කිරිහාමියි අනික් පැත්තෙන්. මේ අය නැතුව කවදාවත් මේ බලය වර්දනය කරන්ට සිරිටත් ටිකිරිටත් ලැන්බෙන්නේ නෑ. මේ බලය පිහිටලා නැති ඒ අයටත් පිං පමුනුවන එක අපෙ යුතුකමක්”
“මම මේ විශේෂ බලය ගැන කතා කරේ එකම හේතුවක් නිසයි. අපි හොඳට හිතට ගන්ට ඕනෑ මිනිසෙකුගේ වටිනාකම මනින්නේ ඒ අයගෙ තියෙන විශේෂ බල අනුව නෙවෙයි. කුඹුරු වැඩට දක්ශ නිසා අපිට කෙනෙක් හොඳ හෝ නරක යයි කියන්ට බෑ. දක්ශ බෙර කාරයෝ, ගල් වඩුවෝ, සිත්තරු තම තමාගේ දක්ශතාවයන් කොතරම් දියුනු කරත් අපි ඒ නිපුනතාවෙන් ඒ අයගෙ හොඳ නරක මනින්නේ නෑ…..බුදුන් වහන්සේ දේසනා කරලා තියෙනවා හොඳ නරක ගැන - ආර්ය අශ්ඨාංගික මාර්ගය බෞද්ධයෝ හොඳින් වටහා ගන්ට ඕනෑ….”
“මම මෙතන ධර්ම දේශනාවක් කරන්න කිසිම අදහසක් නෑ. අද රෑ, විජේරත්න වෙද නිලමෙට පිං සිද්ද වෙන්ට, යමක් කාලා මහංසි නිවා ගත්තොත් අපිට හෙට අනිද්දා කතා කරන්ට වෙලා තියෙනවා…..මම හිතන්නේ මේ හමුවීමෙන්, කාලෙකට පස්සේ මගෙ හිත ලෞකික ජීවිතේ පැත්තට ඇදී එනවා. ඒ නිසා මම කැමතියි දැන් පංසල පැත්තේ වඩින්න, මගේ බාවනාව පටන්ගන්න්ට….සිරීට පුළුවන්නම් මාත් එක්ක එන්ට….?”
මීලඟ දවස් කීපේ මොන විදිහට ඇදී යයිද හිතමින් මම පැදුරෙන් නැගිට්ටේ, ලොකුහාමුදුරුවොත් එක්ක පන්සලට යන්ට.<