18 නව ආරම්භයක්

දුනුකාර පවුලේ සියල්ලෝ පලමුවෙනිවරට අනුරාදපුරේ එක්වීම එක අතකින් පුදුම වෙන්ට කාරනයක්. අවුරුදු පනහකට විතර ඉස්සර වෙන්වෙලා ගිය දරුවෝ තුන්දෙනා නැවත එකතු උනේ තම තමාගේ දරු මුනුබුරෝ සහිත මුලු පවුල් පිටිනුයි - රිටිගල ලොකුහාමුදුරුවෝ ඇරුනුකොට. මේ හමුවීමේ අත්තිවාරම දැමුවේ ඒ පවුලේ වැඩිමලාට, ඒ කියන්නේ මගෙ ලොකු අත්තට, තමංගෙ නංගී නැවත දැකගැනීමට ඇතිවුන ආසාව නිසාමයි. මගේ වාසනාවකට ලොකු අත්තගෙ ඒ “නංගී සෙවීමේ ගමන” පටන්ගත්තේ සීගිරියේ අපෙ ගෙදරින් - ඒ නිසා මටත් ඒකට එකතුවෙන්න පුලුවන් උනා. මම වයස දොලැහේ පටන්ගත්ත ඒ ගමන දිහා මම දැන් බලන්නේ වැඩිහිටියෙක් හැටියටයි.

දුනුකාර පවුලේ අය අනුරාදපුරේදී එකතුවුනේ දැනට අවුරුදු පහකට විතර ඉස්සර දවසක විජේරත්න වෙදාගෙ ගෙදර. ඒ පවුලේ වැඩිහිටියෝ තුන්දෙනා, ඒ කියන්නෙ මගෙ ලොකුඅත්තයි, උන්දැගෙ මල්ලී රිටිගල ලොකුහාමුදුරුවොයි, පවුලේ බාලයාවූ ඒ දෙන්නගෙ නංගියි තුන්දෙනාම පොඩිකාලේ විජේරත්න වෙදා හොඳට අඳුරනවලු. ඒ අත්තම්මා වෙදහෙදකම් ඉගෙනගත්තෙත් ව්ජේරත්න වෙදත් එක්කලු. ඒ හැඳිනීම පිටයි අත්තම්මයි ලොකුඅත්තයි ඒ දවස්වල වෙදගෙදරම නැවතුනේ. ඒ දවස්වල ලොකුඅත්තා ටිකක් අසනීපෙන් හිටපු එකත් හේතුවක් වෙන්ට ඇති.

පහුගිය අවුරුදු පහේ අපේ ජීවිතවල ලොකු වෙනස්කම් සිද්ධවුනා. මේකෙන් පවුලට වඩාම බලපෑවේ අපෙ ලොකුඅත්තගෙ මරනයයි. දුනුකාර පවුල නැවත එක් කිරීමට මූලිකව වැඩකල ලොකුඅත්තා ඒ හමුවීමෙන් පසුව තුන්පෝයක්වත් ජීවතුන් අතර හිටියෙ නෑ. පවුල හමුවුන දවස්වල තිබුන අසනීපෙන් ලොකුඅත්තා සම්පූර්නයෙන්ම සුවයක් ලැබුවෙ නෑ. විජේරත්න වෙදා වගේම අපෙ අත්අම්මත් දන්න වෙදකම් සේරම කෙරුවට අර පරන තිබුන කඩිසර ගතිය අත්තට ආපහු ලබාගන්ට බැරි උනා. වෙදගෙදර අවටත් වැව අද්දරත් ටිකක් ඇවිද්දට මගෙ හේන පැත්තේවත් එන්ට ඇඟට පන තිබුනෙ නෑ.

ලොකුඅත්තාගේ අභාවය ලඟබව රිටිගල ලොකුහාමුදුරුවෝ මට කිව්වේ පවුල මුනගැහිලා පලවෙනි පසලොස්වක පෝයට පස්සේ. ඒ වෙනකොට අප්පච්චියි අම්මයි තිස්ස මලයත් එක්ක ආපහු සීගිරියේ යන එක ගැනත් කතා කරන්ට පටන්ගෙන.

“අයියට මේ ආත්මේ කරන්න ඕනදේ කරලා ඉවරයි කියලා දැන් හිත හදාගනයි ඉන්නේ. මොලේ හොඳට වැඩකරාට සරීරේ දුර්වලයි…මම කැමතියි සිරී අයියත් එක්ක වැඩිපුර ටිකක් ඉන්ට වෙලාව හදා ගත්තොත්…සිරීගෙ ජීවිතේ අයියට පෙනෙන්නේ එයාගෙ ජීවිතේ වගේමයි…නංගියි මමයි හිටියට සිරී මෙහෙ ඉන්න එක අයියට වැදගත්, හිතටයි ගතටයි දෙකටම”

“අපෙ හාමුදුන්නේ එතකොට අපෙ අප්පච්චී එහෙම?” මම ඒක ඇහුවේ තමංගෙ පුතා හැටියට ලොකුඅත්තා අප්පච්චිට මට වැඩිය කිට්ටුවෙන් ඇතියි කියලා හිතාගෙන.

හාමුදුරුවෝ ඒක ගැන ටිකක් හිතුවා මොනවත් කියන්ට ඉස්සර.

“ඒකට උත්තරයක් දෙන එක ලේසි නෑ….කලුබංඩගෙ ජීවිතේ දැන් එක පිලිවෙලකට හැදිලා තියෙන්නේ, ටිකිරි මැනිකත් එක්ක. අයියට ඒ අයගෙ ජීවිතේ ගැන ඇති වගකීම් අඩුයි. නැත්තෙම නෑ, නමුත් අඩුයි. සිරීගෙ අනාගතේ ගැන අයියා වගකීම බාරගත්තේ කලුබංඩගෙයි ටිකිරි මැනිකගෙයි දැනුමයි කැමැත්තයි ඇතුව…සිරීට තේරෙනවා ඇති මොලෙන් බැලීමේ හැකියාවත් එක හේතුවක් උනාට ඒ එකම හේතුව නෙවෙයි…අයියා සිරී මේ ගමනට එකතුකරගත්තේ අයියට ඇති තනියකට නෙවෙයි…අයියට ඕනෑ උනේ සිරීගෙ දැනුම දියුනු කරන්ට - හැම අතින්ම. ඒ කිව්වේ, මොලෙන් බැලීම වගේ විශේෂ දේ ඇරුනුකොට ලෝකේ ගැන අයියගෙ ඇති දැනුම නැතිවී නොයන්ට තමා සිරීට උගන්නන්ට හිතුවේ…කොච්චර ඉගෙනගත්තද කියලා දන්නේ සිරී විතරයි”

මේ අංතිම වාක්ය කියලා ලොකුහාමුදුරුවෝ හිනාඋනා.

මේ සාකච්චාවෙන් පස්සේ මම දිනපතා ලොකුඅත්තා එක්ක සෑහෙන කාලයක් ගෙව්වා. උදෙන්ම හේනේ වැඩ ඉවර කරලා අප්පච්චිටත් තිස්සටත් උදේ කෑම ලෑස්ති කරලා මම කෙලින්ම ගියේ වෙද ගෙදරටයි. යන ගමන් පලාවක්, එලවළුවක් ඇරගෙන යන්ට අමතක කරේ නෑ. මම දන්නවා අප්පච්චී තිස්සත් එක්ක වෙදගෙදර පැත්තේ දවල් වෙලා එනබව. නමුත් ලොකුඅත්තා ඇඳෙන් නැගිටලා වැඩිවෙලාවක් යන්න ඉස්සර වෙදගෙදරට එන්ට මම වග බලාගත්තා. ටිකිරි දෙන යමක් කාලා බීලා උදේ වරුව ලොකුඅත්තා එක්ක මිදුලේ බංකුවේ නැත්නම් වැව අයිනේ ගල්ගෙඩියක් උඩ වාඩිවෙලා කතාවෙන් ගතකරන්න අපි පුරුදුවුනා.

“මට ආයෙ වැඩි කාලයක් නෑ සිරී…”

“එහෙම කියන්ට එපා ලොකුඅත්තා… විජේරත්න වෙදරාලහාමී ඇරුනුකොට දැන් අත්අම්මත් ඉන්නවනේ වෙදකමට?”

“දැන් වෙදකමට අල්ලන කාලේ ගියා. …. මට උඹට කියන්ට දේ තියෙනවා…”

හුඟක් දවස්වල මෙහෙම පටන්ගත්ත කතාවේ මෙතෙන්ට ආහම සිරී සද්ද නැතුව ඉන්ට පුරුදුවුනා. ලොකුඅත්තගෙ කතාව ආවේ කෑලි කෑලි හැටියට, දවසෙන් දවසට.

“මට සන්තෝසයි සිරී කොයි තරම් හොඳට කටයුතු බාරගත්තද කියලා ඇහෙනකොට. ඒ පුංචිකිරා කියපු විදිහට විතරක් නෙවෙයි, විජේරත්න, මගෙ නංගියි ඒ පවුලේ අයත් කිව්වේ සිරී හිතලා බලලා හැබැයි සුනංගුවක් නැතුව කරපුදේ කරා කියලා…. සමහරවිට මම තවම ජීවත්වෙලා ඉන්නේ සිරී එහෙම කරපු නිසා - නංගිගෙ පව්ලේ අයත් එහෙමයි…”

“දැන් හේනේ වැඩත් හොඳට කෙරෙන හිංදා අනාගතේ ගැනත් හිතන්ට වටිනවා… අම්මයි අප්පච්චියි පොඩි එකත් එක්ක ඉක්මනට ආපහු සීගිරියට යන්ට කැමති බව මට දැනෙනවා. ඒකේ වැරැද්දක් නෑ. එහෙ කටයුතුත් බලාගන්ට එපැයි… අප්පච්චියි අම්මයි වගේම සිරීටත් තියෙනවා සීගිරියේ අමතක කරන්ට බැරි කටයුතු… මං මේ කියන්නේ තිස්ස පොඩි එකා ගැන. සමහරවිට තිසාටත් පිහිටලා ඇති මොලෙන් බලන එක - තව පිටට නොපෙනුනට. ඒක බලාගන්ට වෙන්නේ සිරීට තමා”

“මොලෙන් බලන එක ගැන මම ඊයේ දෙයක් හොයාගත්තා… මගෙ ඒ බලේ දැන් නෑ!”

“මං හිතන්නේ සරීරේ දුරුවල වෙනකොට ඒ වගේ බලෙත් නැතිවෙනවා ඇති. මේක මං සිරීට කියන්ටමයි හිටියේ. කවදාවත් සරීරේ දුරුවල වෙන්ට දෙන්ට එපා. බලන්ට මගෙ නංගියි මල්ලියි දෙන්නම දුරුවල නෑ - වෙදහෙදකම් දන්න නිසත් බාවනාවේ යෙදෙන නිසත් ඒ දෙන්නට කරදර නෑ, දෙයියන්ගෙ පිහිටෙන්. සිරිත් ටිකිරි කෙල්ලත් වග බලාගන්ට ඕනෑ සරීරේ හොඳට පරෙස්සම් කරගන්ට”

“ටිකිරි කෙල්ල ගැනත් මට ආඩම්බරයි. අම්මා අප්පච්චී බලාගෙන තඹුත්තේගම ඉඳ එන එක ලේසි නෑ මේ කාලේ. මගෙ නංගිගෙ වගේ ගතිගුන පිහිටලා තියෙනවා වගේම අප්පුච්චගෙ සන්සුන්කමත් තියෙනවා. අපෙ මේ මොලෙන් බලන බලේ අනාගතේට ගෙනියන්ට උඹලා දෙන්නට තමා වෙන්නේ”

“තනි තනියම හරි දෙන්නා එකට හරි…”

මම බිම බලාගෙන හිටියා මේ වචනෙට කිසි දෙයක් නොකියා.

“මං හිතන්නේ මගෙ නංගී විජේරත්නගෙ ගෙදර නවතී… දිගටම. ඒ දවස්වලත් දෙන්න හොඳයි. දැන් වයසට ගිය එකේ දෙන්නට පුළුවන් දෙන්නගෙ තනිකම නැතිකරගන්ට. සිරී හිතන්ට එපා ඒක වැරැදි දෙයක් කියලා - දෙන්නම නම්බුකාර අය, ඒ වගේම වෙදකමට දක්ශයි…”

මේවටත් මම කිසිම දෙයක් කිව්වෙ නෑ.

“කිරිහාමියි සීලවතියි ආපහු තඹුත්තේගම යන එකක් නෑ, මට හිතෙන හැටියට. බිසොත් නවතින එකේ ඒ දෙන්නත් මෙහෙ හේනක්වත් කොටාගෙන නවතියි…. එතකොට ටිකිරිත් මෙහෙ - ඒකටනම් සිරී කැමතිවෙයි!”

මම සද්ද නැතුව බිම බලාගෙන හිටියා - කන්දෙක නම් රත් වෙනවා දැනුනා.

“කවුරුත් අකමැති වෙන එකක් නෑ… මොලෙන් බලන එකේ ඊලඟට කරන්ට පුළුවන් මොනවද කියලා හිතලා බැලුවොත් හොඳයි - දෙන්නම එකතුවෙලා”

…………….

ලොකුඅත්තගෙ තුන් දවසේ දානේ කටයුතු ඉවරවෙලා දවස් දෙක යනකොට අප්පච්චිලා ආපහු සීගිරි යන්ට ඕනෑ බව මට කිව්වා.

“අප්පච්චී ඇයි හදිස්සිය?”

“ඉතින් මෙහෙ නෙවෙයිනේ අපට කියලා දෙයක් තියෙන්නේ”

“හත් දවසේ දානෙටවත් හිටියොත් හොඳයි නේද?”

“මම පුංචි කුඩප්පච්චිට, රිටිගල උන්නාන්සෙට, කතා කරලා බලන්නංකෝ”

අංතිමට හත් දවසේ දානේ ඉවරවෙලා සීගිරි යන්ට අප්පච්චී තීරනේ කරා. මහවිහාරෙට දානේ දීලා මගෙ හේනට ආවට පස්සේ මම අප්පච්චිට මගෙ හිතේ තියෙන දේ කියන්න බැලුවේ.

“අප්පච්චිට කියන්ට කාරනයක් තියෙනවා…”

“හ්ම්?”

“… ටිකිරි නංගී ගැන අප්පච්චී මොකද කියන්නේ?”

අප්පච්චී මා දිහා බැලුවා පලවෙනි සැරේට.

“අම්මත් එක්ක කතාකරාද?”

“… නෑ”

“සීලවතිත් එක්ක? කිරිහාමී?”

“නෑ”

“හ්ම්”

අංතිමට අප්පච්චී අම්මත් එක්ක කතා කරන්ට පොරොන්දුවුනා. ඊට පස්සේ අම්මා සීලවතී නැන්දයි කිරිහාමී මාමයි එක්ක කතා කරයි. මම හෙට වෙද ගෙදර නොයා ඉන්ට තීරනේ කරේ මේ කතා ඉවරවෙනකම් මම එහෙ නොහිටියොත් හොඳයි කියලයි. මම තිස්සත් එක්ක හේනේ අතපහුවෙලා තිබුන වැඩ ටිකක් කරන්ට යෙදුනා.

…………………

අප්පච්චී අම්මත් එක්ක ටිකිරි ගැන කතා කරනකොට තව හුඟක් කාරණා මතුවෙලා තියෙනවා කියලා මට පස්සෙයි ආරංචිවුනේ. ලොකුඅත්තා මට කියලා තිබුනා වගේම බිසෝ අත්අම්මා වෙද ගෙදර දිගටම නවතින්නයි අදහස. ඒකට විරුද්දව නිකමටවත් කතාකරේ ටිකිරිගෙ අම්මා විතරයි - ඒත් සැරට නෙවෙයිලු. සීලවතී නැන්දා තමංගෙ අම්මගෙන් ඈත්වෙලා යන්ට කැමති නැති නිසා එහෙම කතාකරලා තියෙන්නේ. ඒකට අත්අම්මගෙ උත්තරේ මගෙ හිතට ඇල්ලුවා.

“සීලා… උඹෙන් වෙන්වෙන්ට මගෙ කිසි ආසාවක් නෑ. උඹ උපන්දා ඉඳන් අපි හිටියේ එක වහලේ යට. කිරිහාමී කවදාවත් මට නරකක් කියලා කරලා නෑ, උඹ වගේම. උඹලා දෙන්නා වගේම ටිකිරි කෙල්ලත් මට වටිනවා. මගෙ හිතේ තියෙන්නේ මම ආපහු තඹුත්තේගම ගියොත් මට ඒකිගෙන් වෙන්වෙන්ට වෙනවා නේද? තේරෙනවා නේද මං කියන එක? සිරී හොඳ කොලුවා - කෙල්ල හොඳට බලාගනියි… හැබැයි ඒ දෙන්නට මගෙන් තව උදව් ඕන වෙයි, ලොකු අයියත් නැති එකේ… තේරෙනවා නේද මං කියන එක? උඹලා දෙන්නත් හිතලා බැලුවොත් නරකද තඹුත්තේගම දේපල ඒ තරම්ම වටිනවද කියලා? හ්ම්?”

මට පස්සේ දවසක ටිකිරි මේ කතාව කිව්වේ හිනහ වෙවී.

“මං හොඳට බලාගන්නවද එහෙනං?”

අත්අම්මගෙ මේ කතාවෙන් දවස් තුන හතරකට පස්සේ උන්දෑ දුවයි බෑනයි මිනිබිරියි එක්ක මගෙ හේනට ආවා. කට්ටිය එන බව අත්අම්මම මට මොලෙන් බලලා කතාකරලා කිව්ව නිසා මම හොඳට ලෑස්තිවෙන්ට වෙලා තිබුනා. මගෙ හේන කෑල්ලේ අල බතලත්, එලවළු පලා වර්ගත්, තම්බපු හාලුත්, වැව් කරෝලත් එකතුකලේ දවල් කෑමට කට්ටිය නවතියි කියලයි. හොඳ ආනමාලු කැනකුත් ඉදවා ගත්තේ ගොයිරාගෙ උදව්වෙනුයි. බුලත් විටට අවශ්ය දේ මා ලඟ තිබුනේ අප්පච්චී හිටි කාලේ ගෙනත් තිබුන නිසයි. මගෙ අදහසවුනේ කට්ටිය ඇවිත් පොල්පලා උගුරක්, බුලත්විටක් එහෙම සප්පායම් වීමෙන් පස්සේ ටිකිරිටත් නැන්දම්මටත් කෑම ලෑස්තිය බාරදී මාමා හේන පැත්තේ එක්ක යන්නයි. අත්අම්මා මගේ සැලැස්මට කැමතිවුනා. මගෙ ගේ කෑල්ලත් අප්පච්චිලාට ඉන්ට දික් කරපු මඩුවත් සුද්ද කරලා මම නිදාග්න්න මැස්සටයි ගොයිරාලගෙ ගෙදරින් අප්පච්චිට ඇලවෙන්ට ගෙනා බූරු ඇඳටයි අලුත් පැදුරු එලුවා. ගොයිරාලගෙ ගෙදරින් ඒ නංගී මල් පෝච්චියකුත් එව්වා ගොයිරාල අතේ.

මේ ලකලෑස්ති කරන වෙලාවේ මට තනියම හිනා ගියා මම වෙන මහංසිය මගෙම නෑදෑයන්ට සලකන්ට. ටිකිරි ගැන හිතනකොට මගෙ හිතේ ඇතිවුන හිනාව කොහොමටත් අයින් කරන්න බෑ කියලයි මට දැනුනේ.

මගෙ පැලට කට්ටිය ආපු දවසේ තමා කිරිහාමී මාමට මගෙ හේනෙත් ඒ වටේට පංසලේ ඉඩම් වලත් පසේ වටිනාකම ඒත්තුගියේ.

“මේක රත්තරන් පසනේ! ඕන දෙයක් වවාගන්ට බැරිවෙන්නෙ නෑ”

“ඔවු මාමා - ඔය එළෝලු දාලා මාසයයි - වතුරෙන් කරදරයකුත් නෑ”

මාමා වටේට ඉඩම් දිහා බලාගෙන හිටියේ බොහෝම තිබහකින් ඉන්න කෙනෙක් උල්පතක් දිහා බලනවා වගේ.

“මේ සුද්ද කරලා නැති මූකලාන කොටහ කාගෙද?”

“මේ සේරම පංසලේ ඉඩම් මාමා - අර එහා කෑල්ලට හොඳට වතුරත් තියෙනවා”

“හ්ම්…”

මට හිතෙන්නේ මාමට අනුරාධපුරේ නවතින්ට හිතුනේ ඒ වෙලාවේ.

එදා දවල් කෑම රසට තිබුනා. නමුත් ඒ ගැන කියවුන එකම වචනේ ආවේ අත්තමගෙන්.

“ටිකිරි කෙල්ලට කෑම වේලක් හදාගන්ට බැරි නෑ”

ඒක කිව්වේ මං දිහා බලාගෙන. එතකොට මට හිතුනා ටිකිරි කැන්දාගෙන එනවට ඒ පවුලෙන් කරදරයක් නොවෙනබව.

ටිකිරියි මමයි ඉස්සරවෙලාම තනියම පංසල් ගියේ ඊලඟ පෝය දවසෙයි.

……………………

දැන් ටිකිරියි මමයි අපේ පැලේ. මගෙ මාමයි නැන්දම්මයි එහා හේනේ. අත්තම්මා වෙදගෙදර. ගිය අවුරුදු පහේ ජීවිතේ සිද්ද වෙච්ච දේවල් ගැන හිතනකොට මට දැනෙන්නේ පුදුම සන්තෝසයක්. අපේ මොලෙන් බැලීමේ දියුනුවයි තිස්සටත් මේ බලේ පිහිටා තියෙන ලකුනු පැහැදිලිව පෙනෙන්ට තිබීමයි වැඩිම සන්තෝසේ දුන්නේ.