6 නැවතත් ගමනට
අලුත් අවුරුද්ද කිට්ටුවෙනකොට දවසක් ලොකුඅත්තා කිව්වා "ගෙදර ගිහින් අම්මලා අප්පච්චිලා බලලා ආවොත් නරකද?" කියලා.
මම අපෙ ගෙදර දිහා කීප සැරයක් මොලෙන් බැලුවට ගෙදර යන්ට ඒතරම්ම ආසාවක් දැනුනෙ නෑ. අන්තිම්ට ගෙදර පැත්ත බැලුවේ මාස දෙකකට විතර ඉස්සර. හැබැයි අවුරුද්දට ගියොත් සුමනෙයා එහෙමත් හම්බුවෙන්ට පුලුවන්. අනික් එක, ගෙදර කැවුම් එහෙමත් හදනවා ඇති. රිටිගල පන්සලේ කෑම ගැන ඒතරම් ඕනෑකමක් නැතුවා වගේ. ඔහෙ තියෙන එකක් කනවා. දැන් මටත් ඒක හොඳටම පුරුදුයි හැබැයි රසදේවල් ගැන හිතනකොට තවම අසාවක් හිටෙනවා.
"අලුත් මල්ලී කෙනෙකුත් ඉන්නවනේ"
මම අයියා කෙනෙක් වෙන්ට හිටිය එක අමතක වෙලා තිබුනේ. හැබෑට මම කොච්චර නපුරුද ඒක අමතක වෙන්ට. ඇත්තටම කියනවනම් මට ඉස්සර වගේ නෙවෙයි දැන් ගෙදර ගැන හිතන්නේ. එහෙ ඉපදුනාට මොකොද 'ඒක මගේ' කියලා හිතෙන්නෙ නෑ. ඒක අප්පච්චියි අම්මයි, ලඟදි ඉදන් මල්ලියි ඉන්න තැන. අනික් අතින් බලනකොට රිටිගල පන්සලත් 'මගේ' කියලා හිතෙන්නෙ නෑ. ලොකුඅත්තගෙන් මට අහිකුන්ටික ගති පුරුදුවෙලාද කොහෙද.
"ඇයි ලොකුඅත්තට මගෙ මල්ලි බලන්ටම ඕනැද"
"නෑ ඒක නෙවෙයි. මං හිතුවා අපි ආයෙත් පාරට බහින්ට කාලෙ හොඳයි කියලා. දැන් මෙහෙ ඇවිල්ලා අවුරුද්දකටත් වැඩි. මං හිතන්නේ හාමුදුරුවෝ කියන විදිහට සිරී ගමනෙන් ඉගෙනගනීලු මෙහෙ ඉඳලා ඉගෙනගන්නවට වැඩිය."
"ලොකු හාමුදුරුවෝ මට ඇත්තටම උගන්නන්නෙ නෑ. නිකන් එක එක දේ කියලා දෙනවා."
"ඒක තමා උගන්නවා කියන්නෙ. මලයා කිව්වා සිරී හොඳ ගෝලයෙක්ලු. හැබැයි ඉගන ගන්න දේ පිලිපදිනවා විතරක් නෙවෙයි ජීවිතේ ඒ අතට හරවාගන්ට ඕනෑලු. ඒකයි අපි ආයෙත් පාරට බහින්ට කාලේ හොඳයි කිව්වේ."
ලොකු හාමුදුරුවෝ මට ජීවිතේ හරවන්ට තරම් දෙයක් කියල දීල නෑ. නිතරම අනික් අය ගැන සලකන එකයි මොලේට මුල්තැන දෙන එකයි වගේ දේවලට ජීවිතයක් හරවන්නේ කොහොමද? ඔන්න මොලෙන් බලන එක පාවිච්චිකරලා එක එක තැනට පනින්ට ඉගෙන ගත්ත නම් මට පුලුවන් ජීවිතෙ හොඳටම වෙනස් කරන්ට. එතකොට මට ගෙදර ගිහින් එන්ට පුලුවන් දවල්ට කන්ට උනත්!
"කවද්ද ලොකුඅත්තා අපි යන්නේ?"
"මං එන්නෙ නෑ මෙදා. සිරීට තනියම යන්ට පුලුවන් නේද?"
එහෙම අහනකොට බෑ කියන්ට බෑ නේ. ඉතින් මම "ඔවු" කිව්වා.
ගමනට ඕනෑ දේ ගැන මම හිතුවා. පැදුර වගේ දේවල් ඕනැ නෑ. වැඩිය කන්ට එහෙමත් බැඳගන්ට ඕනැ නෑ - මං විතරක් යනවනං උදේ පිටත් උනහම මද්දහනට ගෙදර. ලොකුඅත්තා මට දුන්නා අප්පච්චිට දෙන්ට කියලා තඹ කාසි දෙකකුයි, මල්ලිගෙ කරේ බඳින්ට කියලා අම්මා අතට දෙන්ට සුරයකුයි. ලොකුහාමුදුරුවෝ පිරිත් නූල් ටිකකුයි ගාතාවක් ලියාපු පුස්කොලේකුයි ගෙදර එල්ලන්ට. ඇබිත්තරාල තමා හොඳම දේ දුන්නේ - හකුරු මුලකුයි ඉදීගෙන එන කෙසෙල් ඇවරියකුයි.
ලොකුඅත්තා මට දුන්න ඒ උන්දැගෙ මල්ල මේ ගමනට. ඒක පිටේ එල්ලාගන්ට පුලුවන් හින්දා අත්වලට අමාරුවක් එහෙම නෑ.
"දවස් කීපයක් ඉඳලා ආවට කමක් නෑ. හැබැයි ගෙදර ගිය ගමන් මට කතා කරන්ට ඕනෑ."
අත්තා කියන්නේ මොලෙන් බලන එක ගැන. කරදරේ තියෙන්නේ අම්මයි අප්පච්චියි නොදකින්ට ඒක කරන්ට ඕනෑ.
"අර කජුගහ යට බන්කුව හොඳ තැන" අත්තා හරියට මං හිතපු දේ අහගෙන හිටියා වගේ. අත්තටම අහගෙන හිටියද දන්නෙත් නෑ.
"ලොකුඅත්තට පුලුවන්ද අනික් අය හිතන දේ බලන්ට?"
"හිතන්ටවත් එපා ඒවා. ඒක බොහොම නරක වැඩක්, හරියට පල් හොරෙක් කරන දෙයක් වගේ. මලයා කියල නැද්ද අනික් අයගැන නිතරම කල්පනාවෙන් ඉන්ට ඕනෑ කියලා? තමාගේ හිත තමාගෙමයි - කවදාවත් වෙන කාටවත් අයිති නෑ."
ටිකක් වෙලා සද්ද නැතුව ඉඳලා ලොකුඅත්තා ආයෙත් කතාකරන්ට පටංගත්තා ටිකක් කනගාටුවෙන් වගේ.
"මේ ලෝකේ ඉන්නවා සමහර තක්කඩියෝ අනුන් ගේ හිත්වලට අඟිලි ගහන්ට උත්සාහ කරන. එහෙම කෙනෙක් වැරදිලාවත් හොයාගත්තොත් අපි, ඒකියන්නේ මොලෙන් බලන්ට පුලුවන් අය, කොහොම හරි ඒක නවත්තන්ට බලන්ට ඕනෑ."
"අපි මෙව්වා ගැන කතාකරන්ට තව කල් තියෙනවා. හෙට උදේම නැගිටලා පිටත් උනොත් හොඳයි. අප්පච්චිට කියන්ට අපි අනුරාදපුරෙත් යන්ට හිතාගෙන ඉන්නේ කියලා. අම්මගෙන් තව අග්ගලා කීපෙකුත් ඉල්ලගෙන එන්ට" කියලා අත්තා හිනාඋනා.
මම උදේ පාන්දරම නැගිටලා පිටත් උනා. මෙහෙ එනකොට වගේ නෙවෙයි මට දැන් හොඳට ඇවිදින්න පුලුවන්. මං හිතන්නේ හැමදාම මොනවාහරි කරලා පුරුදු නිසා වෙන්ට ඇති. අනික් එක, මං දැන් ඉස්සර වගේ එක වෙලාවකට වැඩ දෙකක් තුනක් කරන්න උත්සාහ කරන්නේ නෑ; ඇවිදිනවනම් ඇවිදිනවා, නිදාගන්නවනම් එහෙම, කනව බොනවනම් එහෙම. ඒකෙන් පුදුම හයියක් ලැබෙනවා.
මොරගහවැව හරියට එනකන් මම කොහෙවත් නැවතුනේ නෑ. එතනත් වැඩි වෙලාවක් නොඉද කෙසෙල් ගෙඩියක් කාලා වතුරත් බීලා ආයෙ ලබුකට්ටත් පුරවාගෙන ගමනට පිටත් උනා.
මට අප්පච්චී හම්බ වුනේ ගෙදර කිට්ටුවෙන්ටත් ඉස්සර. උදේම උන්දෑ පිදුරන්ගල පන්සලට හීල් දානේ අරන් ගිහින්. මං දැකපු ගමන් නැවතුනා.
“උඹ තනියම?”
“ඔවු අප්පච්චී ලොකුඅත්තා ආවෙ නෑ”
“පාන්දර පිටත් වෙන්ට ඇති”
“ඔව් එතකොට තවම කරුවල”
කතාවෙන් කතාවෙන් අප්පච්චී මට කිට්ටු වෙලා මගෙ ඔලුව අත ගෑවා.
“උඹ උස ගිහිල්ලා”
ගෙදරට කිට්ටු වෙනකොට තමයි අප්පච්චී කිව්වේ මගෙ මල්ලී ගැන.
“උස නැතුව බෑනේ අයිය කෙනෙක් උනාම. උඹට මල්ලී කෙනෙක් ඉන්නවා”
මම මේක නොදන්න හැටියට හිටියා.
“මල්ලිගෙ නම මොකද්ද?’
“තිස්ස”
“හොඳ නම - ඒක රජකෙනෙකුගෙ නමක් නේද?”
“මං දන්නෙන් නෑ - අම්මා ඒකට කැමතියි”
“මාත් කැමතියි” වෙන මොනවා කියන්ටද.
“උඹ කාලයක් ඉන්නවද?”
“නෑ අප්පච්චී අවුරුද්ද ඉවර උනාම යන්ට ඕනෑ. ලොකුඅත්තයි මායි අනුරාදපුරෙත් යන්ට ඉන්නේ”
“කොහොම ලොකු හාමුදුරු කුඩප්පච්චී?”
“එවුන්නාන්සේ පුස් කොලයක් දුන්නා ගෙදර එල්ලන්ට. පිරිත්නූල් වගේකුත් දුන්නා”
“අප්පච්චී හොදින් ඉන්නවද?”
“ලොකුඅත්තා ඉන්නවා අනුරාදපුරේ යන්ට බලාගෙන මං ආපහු ගියාම”
“ඔවු අපෙ අප්පච්චිට එක තැනක ඉන්ට බෑ - අහිකුන්ටිකයෙක් වගේ” අප්පච්චී හිනාවුනා.
අපි දෙන්නා අයෙත් කතා නොකර ඇවිද්දා.
“උඹටත් ලොකුඅත්තට වගේ රටතොට පේනවද?”
ඒ ප්රශ්නෙන් මම අන්ද මන්ද උනා. අප්පච්චිත් දන්නවද මොලන් බලන එක ගැන.
“මට බෑනේ ඕක. පිහිටලා නෑ. මං කැමතියි ඒක බැරිඑක. මොකොද අම්මටත් බෑ නේ”
“ඔවු අප්පච්චී මට පුලුවන් ඒක කරන්ට. හැබැයි ලොකුඅත්තයි ලොකුහාමුදුරුවොයි වගේ බෑ.”
“හිතන්ට එපා මං ඕකට විරුද්දයි කියලා. ඉඳලා හිටලා අපි ගැන හොයලා බැලුවට කමක් නෑ. හැබැයි කිසිදාකවත් අම්මටනං කියන්ට එපා”
“අපි යන ගමන් වැල් අලේකුත් බිඳගෙන යමු”
අපි ගෙදර යනකොට මයියොක්කා තම්බලා තිබුනා කන්ට කොච්චි සම්බල් එක්ක. මම අම්මට වැන්ඳැන් පස්සේ තමයි මතක් උනේ අප්පච්චිට වඳින්ට. අම්මා ටිකක් ඇඬුවට මල්ලී හින්දා වැඩිවෙලා ගේ ඉස්සරහ හිටියෙ නෑ.
මම කාලා ඉවරවෙලා ගිහින් මල්ලී දිහා බලාගෙන හිටියා. ඒක ඒකේ ඒතරම් බලන්ට දෙයක් නෑ. මල්ලී නිදි.
මම අම්මට කියලා ගුනේ මාමලෑ ගෙදර ගියා. සුමනෙයා කුඹුරට ගිහින්. මං එතෙන්ට ඉහින් ඌට පොඩ්ඩක් කතා කරලා උගෙ නංගිටත් දිව දික්කරලා පෙන්නලා හවස හම්බුවෙමු කියලා පොරොන්දුවෙලා ආපහු ගෙදර ආවා. ගමනේ මහන්සිය හින්දද කොහෙද මම ටිකක් නිදා ගත්තා.
ඊලඟ දවස් කීපෙ බොහොම ඉක්මනට ගියා. උදේ වරුව මම අප්පච්චිත් එක්ක වැඩ කරා. අප්පච්චී මගෙන් ඇහුවා පන්සලේ වැඩ ගැනත් ඉගෙනගන්න දේ ගැනත්. එතකොට තමයි මට හිතුනේ අප්පච්චී එලියට පෙන්නනවට වැඩිය හුඟක් දේ දන්නවා කියලා. මොලෙන් බලන්ට බැරිවුනත් ඒගැන දන්නවා. සමහරවිට ලොකුඅත්තත් එක්ක කතා කරන්ට ඇති. මට ඒකෙන් වඩා ලේසිඋනා අප්පච්චිට කතා කරන්ට. කවදාවත් නොතිබුන සමීපකමක් තියෙනවා කියලා මට හිතුනා.
දවල්ට කාලා මම නිතරම වගේ සුමනේ හම්බුවෙන්ට ගියා. හැබැයි අපි කොච්චර විහිලු කරත් අඹ කඩාගෙන කෑවත් ඉස්සර වගේ කිට්ටුවන්ත කමක් නෑ වගේ.
මට හිතුනා මම තමයි වෙනස් උනේ කියලා. අවුරුදු චාරිත්ර ඉවරවෙලා වැඩි දවස් යන්ට ඉස්සර මම රිටිගල යන්ට පිටත් උනා.
සුමනයා එහෙම කිව්වා වෙලාවක රිටිගල පැත්තේ එනවා කියලා. ගුනේ මාමා කිව්වා පරෙස්සමෙන් යන්ට කියලා, හරියට මම වෙලට යනවා වගේ.
අම්මගෙ ආසාව මම දිගටම නවත්තාගන්ට. ඒක වෙන්නෙ නැතිබව මම කිව්වට පස්සේ අම්මා කිව්වා “අපි අමතක නොකර, පස්සෙ කාලේ මල්ලිව බලාගන්ටත් පවුලට නින්දාවක් නොවෙන්ටත් ඉන්ට” කියලා.
අප්පච්චී මාත් එක්ක සෑහෙන වෙලාවක් කතාකරකර හිටියා හවස් වරුවේ. අප්පච්චිට තේරෙනවා මං යන ගමන ගැන. මට දුන්න එකම අවවාදය තමයි “මතකතියාගනින් උඹ ආවේ කොහෙන්ද, යන්නේ කොහෙද, යන්නේ ඇයි” කියලා.
මට දැන් තේරෙනවා අප්පච්චී මොන හිතේ අමාරුවකින්ද මාව පිටත් කරේ කියලා. මම කාටත් නොකියා පහුවදා උදේම රිටිගල යන්ට පිටත් උනා.
[1087]