15 නෑදෑයෝ

“මූනෙන්ම පෙනෙනවා සිරී බොහොම සන්තෝසෙන් ඉන්නේ කියලා”

වටින් ගොඩින් එලිය වැටීගෙන එනකොටත් වෙදයි මමයි තවම මිදුලේ වාඩිවෙලා කතා කරකර ඉන්නවා. රෑ ඇඟ මහන්සි උන නිසාද කොහෙද දැනෙන පොඩි සීතලත් එක්ක සරීරෙට අලුතෙන් පනක් ඇවිල්ලා වගේ දැනෙනවා. කුකුලෝ හඬලන සද්දෙත් අමුතු ලතාවක් තියෙනවා මේ වෙලාවට.

“අලුත් නෑයෝ හැමදාම හම්බුවෙන්නෙ නෑ….”

“වැඩිපුරම හිතට අල්ලන ජාතියේ නෑයෝ…” වෙදා ඇස්වලින් හිනා වෙනවා.

“මාත් ගෙදර ගිහින් ආවොත් හොදයි” මම බිම බලාගෙනම කිව්වා.

“හදිස්සියක් නෑ. ලෙඩාට අමාරුවක් නෑ. අනික් අය ආයෙ නැගිටිනකොට ඉර මුදුන් වෙයි. හැබැයි හවස් වරුවේ මේ දෙන්නා පොඩ්ඩක් වන්දනාමාන කරගන්ට එක්ක ගියොත් හොඳයි”

“මං එන්නං හවස - ගොයිරාල බලාගෙන ඇති”

ගොයිරාලලාට පහු ගිය රෑජාමේ සිද්දවෙච්චි සේරම කියන්ට සෑහෙන වෙලාවක් ගියා. උදේට තම්බපු කොල්ලු කන ගමන් මම කතාව කිව්වා, ලොකුඅත්තගෙ පවුලේ තොරතුරුත් එක්ක. හැබැයි මොලෙන් බලන ඒවා ගැන කතා කලේ නෑ - මට හිත ඇතුලේ කවුදෝ බෙරිහන් දෙන සද්දයක් ඇහුන බව විතරක් කිව්වා. මට හිතුන විදිහට උපාසකම්මට ඒ උත්තරේ ඇති; ගොයිරාල බිම බලාගෙන හිටියේ කිසි දෙයක් නොකියන්ට අදිශ්ටාන කරගෙන වෙන්ට ඇති.

“දැන් කොහෙද ඒ අය නවතින්නේ?” උපාසකම්මා දන්නවා මගෙ පැලේ ඉඩ නැති බවත්, ගොයිරාලගෙ ගෙදරට ආරාදනා කරන්ට බැරි බවත්.

“ලෙඩ හොඳ වෙනකං වෙද ගෙදර ඉන්ට පුලුවන්. අනික අපෙ ලොකුඅත්තගෙ නංගිත් එක්කලුනේ විජේරත්න වෙදා වෙදකම් ඉගෙනගත්තේ”

“ඔවු ඉතින් දවස් කීපයක් ඇවිත් මහංසිත් ඇති නේ”

“ඊයෙත් ගෙදර හිටපු නැති නිසා මම හේනට ගිහින් ඇවිදලා බලලා, කෙහෙල් කැනක් එහෙම කපාගෙන දවල් වෙලා එහෙ යන්ටයි හිතුවේ”

“මේ උදේ ගලවපු බතල වගෙයක් තියෙනවා වෙදමහත්තයට ගිහින් දෙනවද?”

මම ඉඩමේ වැඩ ඉවර කරලා වෙදගෙදර යන්ට ලෑස්ති උනා. වෙනදා වගේ නෙවෙයි මම මගෙ පැලත් ටිකක් අස්පස් කරලා තමයි නාලා අනික් සරමත් ඇඳගත්තෙ. සමහරවිට පන්සල් පැත්තෙත් යන්ට වෙයි කියලා මට හිතුනා. මේ සේරම කරේ බොහොම සන්තෝසෙන් - අලුත් නෑදෑයෝ එක්ක හවසට පන්සල් යන්ට හරිම ආසාවක් හිතුනා. නමුත් ඊට ඉස්සර තව වැඩ ගොඩක් කරන්ට තියෙනවා.

මම මගෙ පැලේ ඉස්සරහ ලී කොටේ උඩ වාඩි වෙලා ඇස්දෙක වහගෙන රිටිගල පන්සලට ගියා.

“මේ මද්දහනේ?” රිටිගල ලොකුහාමුදුරුවෝ දානේ වලඳලා කුටියෙන් එලියට ආවා විතරයි, අත සෝදන්ට වතුර පොල් කට්ටකුත් අරගෙන. මම සාමාන්යයෙන් උන්නාන්සෙට කතා කරන්නේ රිටිගලට හවස් උනාම.

“අපෙ හාමුදුන්නේ ඊයේ රෑ මට මගෙ නෑයෝ කට්ටියක් හම්බ උනා” මගෙ ලොකුම ආරංචිය වැඩි වෙලා හංගාගෙන ඉන්ට බැරි උනා. උන්නාන්සේ මම කතාව සම්පූර්නෙන්ම කියනකම් කතා කරේ නෑ. මම පන්සලේදී ඇහුන කටහඬෙන් පටන්ගෙන වෙද ගෙදරින් අද උදේ පිටත් වෙනතුරු මුලු කතාවම කිව්වා.

“බිසෝ නංගිගෙ දුවයි බෑනයි මිනිබිරියි…හ්ම්ම්…මට ඇහුනෙ නෑනේ ඒ කටහඬ”

හරියට වැදගත් ප්රශ්නයක් මෙතන තියෙනවා වගේ ඒක කිව්වේ.

“…දුරෙන් ප්රශ්නෙකුත් නෑ…වෙලාවෙන් ප්රශ්නෙකුත් නෑ…හ්ම්ම්…ඒක පස්සේ විසඳාගමු. අයියා එක්ක කතා කරන්ට බැලුවද?”

“තවම නෑ අපෙහාමුදුන්නේ. අර දොර වහගෙන ඉන්න කතාව නිසා මම හිතුවේ තමුන්නාන්සෙගෙන් අහලා බලන්න මේක කොහොමද කරන්නේ කියලා…”

“සිරී කියන්නේ දොරට තට්ටු කරන්ට දැන් හොඳ කාලේ කියලද?”

“ඔවු. ලොකුඅත්තට කියන්ටත් පුලුවන් තඹුත්තේගම ගැන…”

“ඇයි අයියා පැරැද්දුවා කියලා පෙන්නන්නද?” උන්නාන්සේ පොඩ්ඩක් හිනා උනා.

“නෑ අපෙහාමුදුන්නේ…මුලු කතාවම කිව්වොත් ආයෙ අනුරාදපුරේ පැත්තට එයි කියලා හිතුනා. අපි සේරම එකතුවෙලා තඹුත්තේගම යන්ටත් පුලුවන්”

ලොකුහාමුදුරුවෝ එක සැරේට කතාව වෙන අතකට හැරෙව්වා.

“මේවා අප්පච්චිට අම්මටත් කියන්ට වටිනවා නේද?”

මට හරිම කනගාටුවක් ඇති උනා. මම මේ තරම් සන්තෝසෙන් අලුත් නෑදෑයෝ ගැන හිතුව මිසක් මගේම පවුලේ අය ගැන හිතුවෙ නෑ. මේ නෑයෝ අයිති මොලෙන් බලන්ට පුලුවන් අයට විතරක් නෙවෙයි. අම්මලා අප්පච්චිලා අමතක උනොත් මම මොනවා කරත් ඒකේ හරයක් තියෙයිද?

මගෙ කනගාටුව උන්නාන්සෙට දැනුනා.

“අපි මේකට කරන පිලියමක් හිතලා බලමු”

“අපෙහාමුදුන්නේ, මට ගෙදර මොලෙන් බලන්ට පුලුවන් උනත් කාටවත් කතා කරන්ට බෑ. ඒ වගේම, අද හෙට මෙහෙ අතහැරලා සීගිරියේ යන්ටත් හිත නෑ”

ලොකුහාමුදුරුවෝ මිදුලේ එහාට මෙහාට සක්මන් කරා. ගැඹුරට හිතන වෙලාවට උන්නාන්සේ මේක සාමාන්යෙන් කරන දෙයක්.

“අදහසක් නම් තියෙනවා…අපි අයියා හොයාගන්ට බලමු ඊට ඉස්සරවෙලා. සිරීට මතකද අයියගෙ හැරමිටිය?”

“එහෙයි හාමුදුන්නේ…සියඹලා අත්තක් ගාලා හදලා තිබුනේ”

“දැන් ඇස් දෙක වහලා ඒ හැරමිටිය ගැන හිතන්ට, ලොකුඅත්තා ගැන නොහිතා….”

ටිකෙන් ටික මට හැරමිටිය පෙනෙනවා වරිච්චි බිත්තියකට හේත්තු කරලා තියෙනවා. ලොකුහාමුදුරුවන්ගෙ අනක් නැතුව මම වෙන දෙයක් කරන්ට හිතුවෙ නෑ. උන්නාන්සෙගෙ කටහඬ යන්තම් ඇහෙනවා “බොහොම හොදයි…දැන් හැරමිටිය අතට ගන්ට බලන්ට…”

මට හැරමිටිය අල්ලන්ට පුලුවන් උනාට ඒක අතට ගන්ට හයියක් නෑ; හරියට මහ ගල්ගෙඩියක් උස්සනවා වගේ දැනුනේ.

“මම උඩින් අල්ලනකොට සිරී යටින් අල්ලන්ට…”

මට උන්නාන්සේ පෙනුනෙත් නෑ. නමුත් හැරමිටියේ බර ටිකක් අඩුයි වගේ දැනුනා.

“දැන් මේක දොර හරහට දාමු. එතකොට අපෙ වැඩේ කම්මුතුයි”

අපි හැරමිටිය දොර හරහ බිම දාලා ආපහු රිටිගලට ආවා.

“දැන් සිරී අපිට තියෙන්නේ අයියා හැරමිටිය දැකලා යමක් කරන කම්”

“අත්තා නිකම්ම හැරමිටිය උස්සලා ගිහින් බිත්තියට හේත්තු කරොත්?”

“ඒක වෙන්නෙ නෑ. අයියා හැරමිටිය බිත්තියට හේත්තු කර තියන්නේ හැමදාම එක විදිහට; ඒක එයාගෙ පුරුද්ද. ඒක කරේ අපි කියලා හිතුවොත් දොර ඇරලා බලයි. හැරමිටිය ආපහු ගිහින් තියලා දොර ඇරියෙ නැත්තම් අපි ආයෙත් ඒක බිම දාමු, දොරකඩ ඉස්සරහ…”

මටත් මේ ‘දොරට ගහන’ ක්රමය ගැන හිනහ ගියා.

ලොකුහාමුදුරුවොයි මමයි තව ටිකක් වෙලා අලුත් නෑදෑයෝ ගැන කතා කරා. හදිස්සියේම උන්නාන්සේ කුටිය ඇතුලට ගියා ඇහිබැම කහකහ. එතකොට මට ලොකුඅත්තා කතා කරා බොහොම හිමින්.

“සිරී…ඇහෙනවද?...”

“ඔව් ලොකුඅත්තා. ඇයි මට පෙනෙන්නෙ නැත්තේ? මට කියන්ට දේ හුඟාක් තියෙනවා…”

“සිරී මං කියනදේ හොඳින් අහගන්න…මට සනීප නෑ දරුවා…නරක උනක් හැදිලා කාලයක් මෙහෙ පන්සලක ඉන්න උනා….”

“අත්තා තැන කිව්වොත් මම එනවා. කොහෙද ඉන්නේ?”

“කිට්ටුව…මිහින්තලේ මහ පන්සලේ…”

“අත්තා කොහෙවත් යන්ට එපා. දොර වහගන්ටත් එපා. මම අද රෑවෙනකොට එනවා…”

“මලයටත් කියන්ට මගෙ තත්ත්වේ…මං එයාට ඇහෙන්ට කිව්වෙ නෑ..” සද්දේ ටික ටික අඩුවෙලා නැතිවෙලාම ගියා.

ලොකුහාමුදුරුවෝ එතකොට කුටියෙන් එලියට ආවා.

“මට මොනවත් කිව්වෙ නෑ. සිරීට විතරයි කතා කරන්ට ඕනෑ කිව්වා; මට කුටිය ඇතුලට යන්ට කිව්වා…”

“ලොකුඅත්තට ලෙඩ. අමාරු පාටයි. දැන් ඉන්නේ මිහින්තලේ. මම අදම යනවා, පුලුවන් නම් විජේරත්න වෙදත් එක්ක”

“එහෙනං අද හවස කතා කරමු. මම අර සීගිරියට පනිවිඩ යවන එක ගැනත් හිතලා බලන්නම්”

මම වහාම වෙදගෙදරට ගෙනියන්ට ලෑස්තිකරගත්ත බඩුයි ඇරගෙන එහෙ යන්ට පිටත් උනා. එක පැත්තකින් ටිකිරි දකින ආසාව, අනික් අතින් ලොකුඅත්තගෙ ලෙඩේට මොකක් කරනවද - මේ දෙකගැන හිත හිතා මම වෙද ගෙදර පැත්තට ගියා.

වෙද මහත්තයා මිදුලේ මග් මාමයි නැන්දයි ටිකිරියි එක්ක කතා කර කර ඉන්නවා. මම බඩු ගෝනිය පිල උඩ තියලා කෙලින්ම ගිහින් වෙදාට කිව්වා ලොකුඅත්තා ගැන, අනික් අයට ඇහෙන්නේ නැතිවෙන්ට.

“මිහින්තලේ හා?...දැන්මම යන්න? ඉන්ට මම මගෙ මල්ල ගේනකම් මේ අයට කියන්ට මොකද වෙන්නේ කියලා”

“මොකොද මොකොද?...කරදරයක්ද?..” ඒ සීලවතී නැන්දා.

“නැන්දා අපෙ ලොකුඅත්තට අසනීපයි කියලා ආරංචි උනා - ටිකක් සැර උනක්ලු. ඉන්නේ මිහින්තලේ පන්සලේ. මම වෙද මහත්තයත් එක්ක දැන් එහෙ යන්ට කියලා”

“අම්මා අපිත් යමුද?”

“අප්පුච්චට හොඳනෑ දුව…”

“කිරිහාමි ලොක්කගෙ වෙදා හැටියට මම කියන්නේ එයා අද කොහෙවත් යන්නෙ නෑ. සීලවතී දුවත් මෙහෙ ඉන්ට ඕනෑ ලෙඩා බලාගන්ට. ටිකිරි කෙල්ල ආවට කමක් නෑ රටතොට බලන්ටත් එක්ක. මේ අයියත් එක්ක යන නිසා බයවෙන්ට ඕනැ නෑ” මේක කියලා වෙදා මං දිහා බලලා ටිකක් හිනා උනා. මම බිම බලාගත්තා.

“අපෙ කොල්ලා කෑම බීම හදලා දෙයි. අපි එන්ට දවස් එකක් දෙකක් ගියත් කොහෙවත් යන්ට එපා. ඕනෑ දෙයක් කොල්ලට කියන්ට - ගෙනත් දෙයි”

ඒ පැය දෙකේ ගමන මගෙ ජීවිතේම හොඳ කාලයක්. වෙදා වෙද මල්ලත් කරේ දාගෙන ඉස්සරඋනා. අපි දෙන්නා කතා කරකර පස්සෙන් ගියා, අනික් ගමන් ආම්පන්නත් උස්සාගෙන.

ඒ ගමනෙදි ටිකිරි නංගී මොලෙන් බලන්ට ඉගෙනගත්ත හැටි කිව්වා, එයාගෙ අත්අම්මගෙන්.

“ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි, හදිස්සියෙන් උනේ. මට වයස නමයක් විතර ඇති. මම හපුමල් මාලයක් හදහදා හිටියා අපෙ ගේ පිටිපස්සේ. මාලේ හැදිලා ඉවරවේගන එනකොට ඒක මැදින් දෙකට කැඩුනා. මම දන්න නරකම වචනෙන් ඒකට බැන්නා, ‘නොදකින් තෝ’ කියලා” ටිකිරිටයි මටයි දෙන්නටම හිනහ ගියා.

“එතකොට අත්අම්මා කිව්වා ‘කට!’ කියලා.’හැබැයි උන්දෑ පෙනෙන්ට හිටියෙනෑ. ලඟ ඇති කියලා මම කිව්වා ‘මේක කැඩුනා අත්අම්මා’ කියලා”

“හැබැයි ඒකට උත්තරයක් ලැබුනෙ නෑ. දවල් වෙලා අප්පුච්චයි අත්අම්මයි හේනේ ඉඳන් ආවා දවල්ට කන්ට. අත්අම්මා කීප සැරයක් මා දිහා දිගටම බලාගෙන හිටියා මිස කිසි දෙයක් කිව්වෙ නෑ. මමත් නරක වචනයක් කියපු එක උන්දැට අමතක වෙනකන් කියලා මොකොවත් කිව්වෙ නෑ”

“කාලා අප්පුච්චා හාන්සි උනාට පස්සේ උන්දෑ මට කතා කරා ‘හපුමල් මාලයක් හදන්ට යමු’ කියල. මම ඇහුවා ‘කොහෙ ඉදන්ද දැක්කේ මගෙ මාලේ කැඩෙනවා?’ කියලා”

“හේනේ”

“එතකොට අම්මා නින්දෙන් ඇහැරුනා වගේ එක සැරේම කිව්වා ‘අම්මා!…’ කියලා බොහොම හයියෙන්”

“අත්අම්මා මගෙ අතින් අල්ලා ගත්තා. ඔලුව විතරක් අම්මා දිහාට හැරෙව්වා, දොරෙන් එලියට එන ගමන්”

‘මිනිබිරී බලාගන්න එක මගෙ යුතුකමක්’

“අම්මා තව කිසි දෙයක් කියන්ට ඉස්සර අපි දෙන්නා ගියා කපා දාලා තියෙන් හපු අතු වල මල් එකතුකරන්ට. එදා තමා මම ඉස්සරවෙලාම අත්අම්මට දුර ඉදන් කතා කරන්ට ඉගෙන ගත්තේ”

මට වගේ නෙවෙයි ටිකිරිට මොලෙන් බැලීම පටන් ගෙන තිබුනේ.

“එතකොට බලන්ට පුලුවන් උනේ?”

“දවස් දෙකකට විතර පස්සේ. මං හිතන්නේ අත් අම්මා හිතල බලල මට ඒක ඉගැන්නුවේ; අම්මයි අප්පුච්චයි වැඩිය කැමැත්තක් නැති බව දන්න නිසා”

මම මගෙ ඔලුවේ බැලීම් ගැන කියලා ඉවර වෙනකොට අපි මිහින්තලේට කිට්ටු වෙලා.

වෙදා අපි දෙන්නා එලියේ නවත්තලා ගියා පන්සලේ ඇතුලට. ටික වෙලාවකින් ඇබිත්තයෙක් ඇවිල්ලා අපි දෙන්නා පිටිපස්සේ බන මඩුවකට එක්ක ගියා. ඒකේ කොනක ලොකුඅත්තා වාඩිවෙලා ඉන්නවා සුදු රෙද්දකුත් පොරවගෙන. අපි එනවා ඇහිලා උන්දෑ ඔලුව උස්සලා අපි දිහා බලා ගෙන හිටියා කතා නැතුව. ඉස්සර මම දන්න කඩිසර ලොකුඅත්තා නෙවෙයි මෙතන ඉන්නේ; හොඳටම කෙට්ටු කෙලින් හිටගන්ටවත් බැරි ලෙඩෙක්. කතා කරෙ නැති උනාට මට පෙනෙනවා ඇහෙන් කඳුලු පාරක් ගලාගෙන එනවා. උන්දැගෙ අත අල්ලාගෙන වාඩිවෙන්ට උදව් කරගෙන හිටිය වෙදමහත්තයා මට කතා කරා.

“සිරී අපි නිලමේ අනුරාදපුරේ ගෙනියන්න ඕනෑ. කරත්තයක් හොයාගන්ට පුලුවන්ද?”

මම ඉස්සරවෙලාම ලොකුඅත්තට දන ගහලා වැඳලා ටිකිරිටත් එහෙම කරන්ට සැලැස්සුවා.

“මේ ලොකුඅත්තගෙ නංගිගෙ මිනිබිරී - ටිකිරි. එයාටත් මොලෙන් බලන්ට පුලුවන්…”

ලොකුඅත්තා ටිකිරිගෙ ඔලුව උඩින් අත තියලා මොනවාදො වෙවුල වෙවුලා මැතුරුවා. ඒ දෙන්නා එහෙම ඉන්නකොට මම වෙදාට කොහොම හරි කරත්තයක් හොයා ගන්නවා කියලා එලියට බැස්සා. මගේ ඇස්වලින් කඳුලු ගලන බව දැනුනේ ඒ වෙලාවේ.

කරත්තයක් හොයාගන්ට නම් ඒ තරම් අමාරු නෑ. නිතරම මිහින්තලෙන් බඩුයි මිනිස්සුයි ඇරගෙන අනුරාදපුරේ යන කරත්ත තියෙනවා. නමුත් ලොකුඅත්තට වැඩි වෙහෙසක් නැතුව යන්ට එකක් හොයාගත්තේ පැදුරු එකතුකරන මිනිහෙක්ගෙන්. ඒ මිනිහා මිහින්තලේ පැත්තේ වියන හැවැන්, පං, හන වගේ ඕනෑ පැදුරක් අනුරාදපුරේදී ගන්ට කැමති අය දන්නවා. හෙට උදේම අපිත් දාගෙන යන්ට කැමති උනේ මම අනුරාදපුරේදී කරත්තේ රෝදවලට පට්ටන් ගහලා දෙන්ට පොරොන්දු උනාට පස්සේ.

එදා රෑ මම බෝ මලුවේ ඉදන් රිටිගලට කතා කෙරුවා, ලොකුහාමුදුරුවන්ට තොරතුරු දෙන්ට.

“අයියා බොහොම දුර්වල ඇති. දැන් මට කතා කරන්ටවත් බලන්ටවත් බෑ”

“අපි ලොකු අත්තා හෙට උදේ අනුරාදපුරේ එක්ක යනවා”

“ඒක හොඳයි. මම ඊයේ හවස සීගිරියේ ගියා…”

“අප්පචිලාට කිව්වද?”

“කලුබන්ඩගෙ හිතේ ඒ ගමන්ම අනුරාදපුරේ එන්ට පිටත් වෙන්ට. අන්තිමට මම කිව්වා පවුලයි පොඩි එකත් එක්ක ආවනම් වන්දනා මාන කරගන්ටත් පුලුවන් නේද කියලා. මට ඕනැ උනේ තිස්සටත් ලොකුඅත්තා පෙන්නන්ට. අර ගුනරත්නට ඉඩම් එහෙම බලාගන්ට දීලා හෙට මෙහාට එයි. දවස් කීපෙකින් අපිටත් අනුරාදපුරේට ලංවෙන්ට පුලුවං”

“තමුන්නාන්සෙත් වඩිනවද?”

“මං හිතුවේ අයියත් බලලා අනුරාදපුරෙත් ටිකක් බලාගෙන එන්ට කියලා”

මට හරි සන්තෝසයක් හිතුනා. අප්පච්චියි අම්මයි මල්ලියි අරුනුකොට රිටිගල උන්නාන්සෙත් එනවානම් පවුලේ හුඟාක් අය එකතු වෙනවා. මටයි වෙදාටයි ගොයිරාලටයි බැරිවෙන්නෙ නෑ මේ අය බලාගන්ට. අම්මත් එක්ක සේලවතී නැන්දටත් පුලුවන් වන්දනාමාන කරගන්ට. වැඩිය කතා නොකරන අප්පච්චිටත් කිරිහාමිත් එක්ක විවේකෙන් දවස් කීපයක් ඉන්ට පුලුවන්. තිස්සයට මාලු අල්ලන්ට ඉගැන්නුවොත් අම්මගෙන් බැනුම් අහන්ට වෙයිද කියලත් හිතුනා. මේ සේරම හිතේ තියාගෙන තමා එදා රෑ නිදාගන්ට ලොකුඅත්තගෙ බංකුව ලඟ බිම ඇල උනේ.

කිරිහාමී මාමා එක්ක යනකොට වගේ නෙවෙයි ලොකුඅත්තා එක්ක යන ගමන ලේසි උනා. හොඳ පන ඇති ගොනාට කිසි අමාරුවක් නෑ පැදුරු කරත්තේ අදින්ට. ලොකුඅත්තයි පැදුරු උඩ ඇලවෙලා; වෙදා කරත්තකාරයත් එක්ක කතා කරනවා. ටිකිරියි මමයි කරත්තේ පිටිපස්සේ.

හෙට මොන තරම් කරදර ආවත්, මේ ගමනෙන් තමා මට හිතුනේ මමත් වැඩිහිටියෙක් කියලා. ලඟ නෑයෝ බලාගන්න එක, ලෙඩ්ඩුන්ට සාත්තු කරන එක, මගට හරියන වාහන කතාකරගැනීම…මේ සේරම අනාගතෙත් කරන්ට ඕනැ දේ. මට ටික ටික අනාගතේ ගැන අදහස් මවන්ට පටන් ගත්තා.