16 පරපුර හමුවීමට ලෑස්ති
වෙදගෙදරට එනකොට ලොකුඅත්තට හොඳටම නින්ද ගිහින්. අපි උන්දෑ උස්සාගෙන ගිහින් වෙදාගෙ ඇඳේ හාන්සි කරා. ඒ වෙදමහත්තයගේ නියමය අනුව. උන්දැගෙ වචනේ අනුව ගෙදර කොල්ලයි, නැන්දයි ටිකිරියි ලෙඩාට ඕන කැඳ, කසාය වගේ දේ හදන්ට පටන්ගත්තා. මම කිරිහාමී මාමට තොරතුරු පැහැදිලි කරා මිදුලේ බංකුවේ වාඩිවෙලා. වෙදමහත්තයා එලියට එනකම්ම අපි අපෙ පවුල් දෙකේ සමානකම් වෙනස්කම් වටහාගන්ට උත්සාහ කරා.
“සිරී…අපිට තැඹිලි ගෙඩි කීපෙකුයි ඉරමසු මුල් ටිකකුයි ඕනෑ අද හවස් වෙනකොට….”
“හදිස්සියට මොනවත් ඕනැද? කොහොමද ලොකු අත්තට?”
“දැනට ඔහෙ නිදා ගත්තැයි. කසාය එහෙම තැම්බෙනවා ඇහැරුනාම දෙන්න. මට උදවුවට සීලවතිත් ඉන්න නිසා කරන්ට තියෙන දෙයක් කරලා ඉර බහින්ට ඉස්සර ආවොත් හොදයි”
“මම කරත්තකාරයගෙ රෝද හදන වැඩේ ගැන කම්මලට කතා කරලා, ගොයිරාලටයි පන්සලටයි කතා කරලා එනවා. අපෙ අප්පච්චිලා ආහම ඉන්ට තැනකුත් බලන්ට ඕනෑ…”
“සිරීට පුලුවන්නම් අප්පච්චියි මල්ලියි හේනේ පැලේ නවත්තාගන්ට, මට පුලුවන් අනික් අය තියාගන්ට. මම කොහොමද දුනුකාර නිලමේ වෙන කොහෙවත් යවන්නේ?”
මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු කිරිහාමී මාමා කිව්වා එයාට පන්සලේ බනමඩුවේ නිදන්ට පුලුවන් කියලා.
“කිරිහාමී ලොක්කා මගෙ ලෙඩා - කොහෙවත් යන්ට ඕනැ නෑ, මෙතන ඕනැ තරම් ඉඩ තියෙනවා”
මම පිටත්වෙන්ට ඉස්සර ටිකිරිට කතා කරලා කිව්වා මට කරන්ට තියෙන වැඩටික ගැනත් හවස ආපහු එනබවත්.
“ටිකිරි නරකද අත් අම්මට කිව්වොත් ලොකුඅත්තා ගැන?”
“මම ඊයෙ රෑ කිව්වා. උන්දැත් හරි ආසාවෙන් ඉන්නේ අයියා දැකගන්ට”
“රිටිගල ලොකුහාමුදුරුවොත් එන බව කිව්වද?”
“ඒක දැනගන්ට ඉස්සර මම කතාකරේ. අද කියනවා”
“තඹුත්තේගම කවුරුවත් හොයාගන්ට පුලුවන් වෙයිද උන්දැත් එක්ක අනුරාදපුරේ එන්ට? පවුලේ අනික් සේරමත් එන එකේ, අපරාදේ එන්ට බැරි උනොත්. ආයෙ කවදා වෙයිද දන්නෙ නෑ….”
ටිකිරි හිනා උනා.
“මං අද කියන්නම් අයියා එහෙම කිව්වා කියලා”
මම වෙද ගෙදරින් පිටත් උනේ දවසේ කෙරෙන්ට තියෙන කටයුතු ගැන හිත හිතා. ලොකුඅත්තා ඉස්සර මට කියලා තියෙන හැටියට, කරන්ට තියෙන දේ හරි පිළිවෙළට කෙරුවොත් මහන්සියයි කාලෙයි දෙකම අඩු කරගන්ට පුලුවන්. එහෙම හිතාගෙන මම ඉස්සරවෙලාම ගියේ පන්සලට, ලොකුහාමුදුරුවන්ට ලොකුඅත්තා ආපු බව කියන්ට.
“දැන් දුනුකාර නිලමේ විජේරත්න වෙද ගෙදර?”
“එහෙයි හාමුදුන්නේ”
“මේ දරුවා උදව්වට ඉන්නවද?”
“එහෙයි හාමුදුන්නේ. ලොකුඅත්තගෙ නංගිගෙ පවුලේ කට්ටියත් ඉන්නවා උදව්වට”
“ඒ බිසෝමැනිකේ එහෙම?”
“අත්තම්මා ඇවිල්ලා නෑ. හැබැයි දුවයි බෑනයි මිනිබිරියි ඉන්නවා අනුරාදපුරේ වන්දනාවේ ආපු ගමන්. කිරිහාමී මාමත් පපුවේ අමාරුවක් හැදිලා එහෙ නැවතුනා”
“ඒක තමා වෙදනිලමේ දැක්කෙ නැත්තේ දවස් කීපෙකින්…එහෙ සෙනගට පැදුරු එහෙම ඕනැනම් ඇබිත්තයගෙන් ඉල්ලගෙන ගියාට කමක් නෑ…”
මම පැදුරු කීපෙකුත් අරගෙන කම්මලට ගියා. කම්මල් කාරයා ඉදලක් අරන් කම්මල අතුගානවා - වැඩ කරන්ට කිණිහිරේ මොකවත් හයිකරලා නෑ.
“ලොකු උන්නැහේ වැඩද?”
“හා… දැකපු කල්. මං හිතුවේ කොහෙවත් ගිහින් කියලා”
“නෑ හේනේ වැඩ…ලොකුඅත්තා ඇවිත් ඉන්නවා…”
මම කම්මල් කාරයට ලොකුඅත්තගෙ විස්තර කිව්වා.ඒ එක්කම පැදුරු කරත්ත කාරයගෙ රෝද ගැනත් ඇහුවා. වැඩි වැඩක් නැති නිසා ඉක්මනට කරගන්ට පුලුවන්වෙයි කියලා මට හිතුනා.
“ලොකුඅත්තා එක්ක ආවේ ඒ කරත්තේ. මම පොරොන්දු උනා රෝද හදාගන්ට උදව් කරනවා කියලා”
“පරන පට්ටං කෑලි තියෙනවා. අත් උදව්වට ඉන්නවනං හෙට අනිද්දම කරගන්ට පුලුවන්”
එතනින් මම ගියේ ගොයිරාලගෙ ගෙදර. ලොකුඅත්තා ගැන විතරක් නෙවෙයි අප්පච්චී අම්මා, රිටිගල හාමුදුරුවෝ, තඹුත්තේගම ඇත්තෝ සේරම ගැන එතෙන්දී කියන්ට උනා. උපාසකම්මා දීපු කෑම ටිකකුත් කාලා සෑහෙන වෙලාවක් මම ඒ අයගෙ ප්රශ්න වලට උත්තර දුන්නා. අන්තිමේදී ගොයිරාලගෙන්ම තැඹිලි ගන්නයි උපාසකම්මාගෙන් තව කොට්ට පැදුරු කීපයක් ගන්නයි මම කැමති උනා. ගොයිරාලයි නංගියි දෙන්නා මගෙ හේනට ආවා ගෙදර ටිකක් සුද්ද බුද්ද කරලා දාන්නයි එලියේ මඩුව ටිකක් දික් කරන්නයි. ගොයිරාලගෙ අදහස උනේ අපෙ අප්පච්චියි මල්ලියි මාත් එක්ක පැලේ ඉන්නවනම් තව බංකුවක් බූරුඇඳක් එහෙම ඕනැ වෙයි කියලා. අන්තිමට ඒවත් ආවේ ගොයිරාලගෙ ගෙදරින්.
මොන තරම් මගෙ පැලේ වැඩ වලට උදව් උනත්, බඩු ගෙනත් දුන්නත් මගෙ නෑදෑයන්ට ගොයිරාලගෙ ගෙදර ඉන්ට හරි කෑමට එන්ට හරි ආරාදනාවක් ලැබුනෙ නෑ. එතකොටයි මට මතක් උනේ ගොයිරාලයි උපාසකම්මයි දෙන්නම අඩු කුලේ නිසා එහෙම නොකරන බව. එතකොට මම හිතාගත්තා අපෙ අප්පච්චිත් එහෙ වෙලාවක එක්ක යන්ට ඕනෑ කියලා.
පැලේ වැඩ ඉවර කරලා ගොයිරාලයි නංගියි ආපහු ගියාට පස්සේ මම හොඳ කෙහෙල්කැන් දෙකක් කපාගෙන කඩමංඩිය පැත්තට ගියා. ඒවා කඩේට දීලා පොඩි මැටි බාජන කීපේකුයි, බුලත් හපන්ට ඕනෑ අඩුපාඩුයි තව ගෙදරට ඕනෑවෙයි කියලා හිතුන පොඩි බඩු ටිකකුයි ගත්තා. තනියම ඉන්නකොට වගේ නෙවෙයි ගෙදර අනික් අය ඉන්නකොට - ඒ අයගෙ ඕනැ එපාකමුත් බලන්ට ඕනෑ. අන්තිමට මම හනකෙඳි වලින් වියපු පොඩි මල්ලකුත් ගත්තා ටිකිරිට දෙන්ට හිතාගෙන.
කඩ කීපෙකින්ම අහලා බලලා කරත්තකාරයා හොයාගෙන කම්මලට යන හැටි කියාදීල හෙට උදේ එතෙන්ට එන්ට පොරොන්දු කරවාගත්තා.
මේ සේරම ඉවර වෙනකොට ඉර හැරිලා. මම ගත්ත බඩුටික ගෙදර ගිහින් තියලා, පැදුරු මිටියකුයි තැඹිලි වල්ලකුයි උස්සාගෙන වෙද ගෙදර යන්ට පිටත් උනා.
“අත්අම්මා දැම්මම පිටත් වෙලා! හෙට හවස් වෙනකොට එන්ටත් පුලුවන්!” ටිකිරිගෙ හිනහව මූන පුරහ; හරියට සන්තෝසෙට තනි කකුලෙන් පනිනවා වගේ කට හඬෙන් දැනෙන්නේ.
“අම්මට තාමත් ඇවිදින්ට පුලුවන් මට වැඩිය! මොකවත් අකරතැබ්බයක් නොවුනොත් හෙට රෑවෙනකොට එන්ට බැරිකමක් නෑ” සීලවතී නැන්දත් හොඳ සන්තෝසෙන් වගේ.
“ලොකුඅත්තට කිව්වද?”
වෙදා එතකොටම එලියට ආවා.
“හෙට උදේ කිව්වම ඇති. කැඳ ටිකක් එහෙම බිව්වට, තවම ඇඟ දුරුවලයි. පපුවේ සෙමත් තියෙනවා. හැබැයි දීපු කසාය ඇල්ලුවොත් හෙට වෙනකොට පොඩ්ඩක් කතා කරන්ට එහෙම පුලුවන් වෙයි… “
“එතකොට මාමට?”
“ඉහෙන් බහින රෝගයක් නෑ, ටිකක් පරෙස්සන් උනොත්!”
“වෙද නිලමේ නිවන් දකින්ට ඕනෑ!” නැන්දයි මාමයි හරියට කටපාඩං කරගෙන හිටියා වගේ කිව්වා. ටිකිරි වෙදාට දන ගහලා වැන්දා. මම ලොකුඅත්තා බලන්ට ගේ ඇතුලට ගියා.
තැඹිලියි පැදුරුයි අගුපිලේ තියලා මම ලොකුඅත්තා හිටපු කාමරේට එබිලා බැලුවා. නින්දෙන් ටිකක් එහෙ මෙහෙ පෙරලිලා වගේ, කොන්ඩෙයි රවුලයි හොදටම අවුල් වෙලා. නමුත් මූනේ සන්සුන් ගතියක් පෙනෙනවා හොඳට නිංද ගිහින් වගේ. එක සැරයක් ඇස් ඇරලා මං ඉන්න පැත්ත බැලුවට මම අඳුනා ගන්නවා තියා දැක්ක බවක් වත් පෙනුනෙ නෑ.
මං දැකපු එක දෙයක් තමා අත්තගෙ හැරමිටිය හරි විදිහට බිත්තියට හේත්තු කරලා තිබුන බව - කවුරු ඒක කරාද දන්නෙ නෑ.
“මාමා දැන් ටිකක් ඇවිද්දට කමක් නැද්ද?” මම වෙදාගෙන් ඇහුවේ අනික් අයට නෑහෙන්ට.
“ඇයි?”
“මං හිතුවේ මේ තුන්දෙනා එක්ක වැව් කංඩිය දිගේ පංසලට ගිහින් එන්ට කියලා. වංදනාවේ කියලා ආවට තව ගෙදරින් එලියටවත් ගියෙ නෑ නේ”
“ඒකනං එහෙමයි. මම අර ලොකුහාමුදුරුවන්ට හිඳපු තෙල් වගෙයක් තියෙනවා ගිහින් දෙනවද? මටත් ගිහින් එන්ට පහසුවක් නෑ මේ දවස්වල”
නැන්දයි ටිකිරියි ලෑස්තිවෙලා එනකම් මාමයි මමයි ඊලඟ දවස් කීපේ මොනවා වෙයිද කියලා කතා කරගත්තා.
“අනික් ඇත්තෝ ආපුහාම මේ සේරම ආයෙත් බලන්ට යන්ට වෙයි නේද?”
“ඒකනං ඇත්තා මාමා. හැබැයි ගෙදරට වෙලා ඉන්නවට වැඩිය වැව පැත්තේ ගිහින් ටිකක් ඇවිදලා එන එක හොඳයි කියලා මට හිතුනා”
“වන්දනාමාන පස්සේ බැරියෑ. අද මේ කිට්ටුව ටිකක් ගිහින් බලමු” මාමා තවම ටිකක් බයයි වගේ දුර ඇවිදින්ට.
අපි ඇවිද්දේ හිමින්, නැවති නැවතී. වැව වටේ ටිකක් ඇවිදලා අපි නැවතිලා බලාගෙන හිටියා මාලු අල්ලන මිනිස්සු දිහා.
“පවු නැද්ද මේ පංසල කිට්ටුවම මාලු අල්ලන්නේ?” නැන්දට තරහ ගිහින් වගේ.
“මාලුවන්ට වෙනසක් නෑ කොහෙදී අහු උනත්. අල්ලන උන්ටත් වෙනසක් නෑ හොහෙදී ඇල්ලුවත්; වැඩේ නරකයි නම් නරකයි. ඒ සේරටම වැඩිය, ඒ දෙගොල්ල මොනවා හිතුවත් කෙරුවත් අපිටත් වෙනසක් නෑ”
මාමගෙ උත්තරේට මටයි ටිකිරිටයි හිනහ ගියා. මට අහෙන විදිහට මාමා කරපු දිගම කතාව ඒක. මාමයි නැන්දයි ඉස්සරවෙන්න ඇරලා අපි පස්සෙන් හිමින් ඇවිද්දා. අපිට හොඳටම පෙනෙනවා මාමගෙ කොන්ද කෙලින් වගේම ඇවිදිනකොට දුර්වල බවක් පෙනෙන්නෙ නෑ.
“මාමා පෙරේදට වැඩිය බොහොම හොඳයි නේද?”
“දෙයියන්ගෙ පිහිටෙන් අප්පුච්චට වෙදාගෙ බෙහෙත් අල්ලලා. අර කිව්වා වගේ දවස් කීපයක් පරෙස්සං උනොත් ආයෙ කරදරයක් නැතිවෙයි”
ඊලඟට අපි වැව් බැම්මේ කොහොඹ ගහ ලඟ නැවතුනා. මාමා නැමිලා එතන ගල් ගෙඩියක් උඩ වාඩි උනා.
“මටනං ඇවිද්දා ඇති වගේ; ආයෙ ආපහු යන්ටත් එපැයි. උඹලා පංසල් එහෙම වැඳගෙන වරෙල්ලා මං මෙතන ඉන්නං”
“මාත් නවතිනවා අප්පුච්චා එක්ක. අයියා අම්මත් එක්ක පංසල් ගිහින් එන්ට”
මට හිතුනේ නැන්දා වෙනුවට ටිකිරි ආවානම් හොඳයි කියල නමුත් ඒක පිටට පෙන්නුවෙ නෑ.
“යං එහෙනං නැන්දා”
අම්මයි දුවයි සෑහෙන විවාදෙකට පස්සේ නැන්දයි මමයි පංසල පැත්තට පිටත් උනා.
“පුතාගෙ අප්පච්චී මගෙ ලොකුමාමගෙ පුතා. අපෙ අනික් මාමා ලොකු හාමුදුරුවෝ … කොහෙද?”
“රිටිගල නැන්දා”
“උන්නාන්සෙයි ලොකුමාමගෙ පුතයි උන්දැගෙ පවුලයි, ඒ කියන්නේ පුතාගෙ දෙමව්පියෝ, සමහරවිට හෙට මෙහෙ?”
“කියාපු වෙලාවේ පිටත් උනානම් බැරිවෙන එකක් නෑ. තිසා නිසා ටිකක් පරක්කු වෙන්ට ඉඩ තියෙනවා නැන්දා”
“…තිසා?”
“මගෙ මල්ලී, තිස්ස, තවම අවුරුදු හතරයි”
නැන්දා පංසල කිට්ටුවෙනකම්ම සද්ද නැතුව ඇවිද්දා. එක සැරේම නැවතිලා මගෙ ඔලුව අතගෑවා.
“එක පුතෙක්වත් නැතුව හිටි මට පුත්තු දෙන්නෙක්ම…”
අපි පංසලේ ලොකු හාමුදුරුවන්ගෙ තෙල් ඇබිත්තයා අතට දීලා වන්දනාමාන කරගෙන ආපහු එනකමුත් කිසි කතාවක් කරේ නෑ. නැන්දා මොකද්දෝ කල්පනා කර කර ඇවිද්දේ අවට දේ නොදකින කෙනෙක් වගේ.
අපි එනකොට කොහොඹ ගහ යට කවුරුත් නෑ. නැන්දා හරියට හිටපු ගමන් ඇහැරුන කෙනෙක් වගේ “කෝ මේ අය?” කිව්වා. තවම නැන්දගෙ හිතේ තියෙන්නේ මාමගෙ ලෙඩේ ගැන විතරයි.
“ගෙදර යන්ට ඇති නැන්දා”
එහෙම කියලා මම හොරෙන් වෙද ගෙදර පැත්ත මොලෙන් බැලුවා. මාමා ගේ ඉස්සරහ වාඩි වෙලා මොනවාදෝ බොනවා. ටිකිරි ගෙදරින් එලියට ඇවිත් මං දිහා බලලා හිනහවෙලා අත වැනුවා.
නැන්දා වෙද ගෙදරට එක්ක ගිහින් මම වැඩි වෙලාවක් එහෙ නොනැවතී ආපහු මගේම පැලට ආවා. හෙට හවස් වෙන්ට ඉස්සර මට කරන්ට බොහෝම දේ තිබුනා.
රෑ කෑමෙන් පස්සේ මම රිටිගල ලොකු හාමුදුරුවෝ ඉන්න දිහා හොයලා බැලුවා.
රිටිගල ලොකුහාමුදුරුවෝ තිරප්පනේ ගමේ කවුදෝ එක්ක කතා කර කර ඉන්නවා. තිරප්පනේ පංසලේ හාමුදුරු නමක් දිගටම වැඩහිටියේ නෑ. ගමේ ඕනෑකම් අවට පංසල් වලින් තමා සිදු උනේ. රිටිගල උන්නාන්සෙත් මෙ වැඩලා තියෙනවා මීට ඉස්සර.
වට පිට බලනකොට මං දැක්කා එතන පොඩි බන මඩුවේ වාඩි වෙලා අප්පච්චියි අම්මයි මල්ලිට නිදාගන්ට ලෑස්ති කරනවා. මං හිතන්නේ පොඩි එකාටත් වැඩිය ලොකු අයට මහන්සියි පොඩි එකා වඩාගෙන ඇවිත් ඉඳලා හිටලා. හෙට උදේ තිරප්පනෙන් පිටත් උනොත් රෑ වෙන්ට ඉස්සර අනුරාදපුරේට එවෙන්ට පුලුවන් කියලා මට හිතුනා.
“සිරී දැන් අයියට කොහොමද?”
හාමුදුරුවෝ තනියම බන මඩුවෙන් ඈතට යනවා. කතා කර කර හිටිය මිනිහත් ගිහින්.
“හාමුදුන්නේ වෙදා කියන හැටියට හෙට දිහාට ටිකක් කතා කරන්ට එහෙමත් පුලුවන් වෙයිලු. අද කැඳ ටිකක් එහෙම බිව්වට ඇඟ දුරුවලයි කියලා වෙදා කිව්වේ”
“අනික් ලෙඩාට?”
“ඒ මාමා අද වැව පැත්තේ ඇවිදින්ටත් ගියා”
“අපි හෙට රෑ වෙන්ට ඉස්සර එනවා. මට හරියට විජේරත්නගෙ ගෙදර මතක නෑ. මහ පංසලට එනවද අපි එක්ක යන්ට? මම එහාට කිට්ටු වෙනකොට ආයෙත් කතා කරන්නං”
“එහෙයි හාමුදුන්නේ? …අප්පච්චිලාට එහෙම කොහොමද? ගමන අමාරුද?”
“අම්මරුව නං තියෙනවා. නමුත් හිතේ හයිය බොහෝම තදයි - ඒකෙන් අනුරාදපුරේ වගේ ගමන් දෙකක් යන්ට පුලුවන්…නමුත් ඒ අය අයියා එහෙම දැක්කැන් පස්සේ හොඳට මොකවත් කාලා බීලා රැයක් නිදා ගත්තොත් සේරටම හොදයි”
“මං සේරම ලෑස්ති කරනවා අපෙ හාමුදුන්නේ…තමුන්නාන්සෙට ඕනැ යමක් තියෙනවානම්….?”
“මට ඕනෑ පවුලේ අය දැකගන්ටයි ටිකක් විවේකෙන් ඉන්ටයි විතරයි…දැන් වගේ…”
“එහෙනං මට අවසර”
මම නිදාගන්ට ඉස්සර ටිකිරිට මේ ටික කිව්වා. සද්ද කරලා කතා නොකරත් අපිට අමාරුවක් නෑ එක එක්කෙනා කියන දේ තේරුම් ගන්ට. හරියට හිතෙන් හිතට කතා කරනවා වගේ. නමුත් ප්රශ්න අහන්ටයි උත්තර දෙන්නටයි ඇරුනුකොට වෙන හිතේ තියෙන දේ බලන්ට බෑ. ලොකුඅත්තයි ලොකු හාමුදුරුවොයි මට කිව්වා වගේ ටිකිරිගෙ අත්අම්මත් ටිකිරිට ඒ ටික කියාදීලා ඇති. ඒ නිසාද කොහෙද වචන නැතත් අපේ කතාව සම්පූර්නයි, විශේශයෙන්ම මූනත් පෙනෙන නිසා.
ටිකිරි කියපු විදිහට අත්අම්මත් හෙට රෑවෙන්ට ඉස්සර එයි කියලා තමා බලාපොරොත්තුව. උන්දැගෙ වාසනාවට වගේ තඹුත්තේගමම කට්ටියක් වන්දනාවේ එනවා මගදී හම්බු උනාලු. වෙදකම දන්න අත් අම්මා නඩේට එකතුකර ගන්ට ඒ අය බොහෝම කැමති උනාලු.
අපි කතාව නැවැත්තුවේ දෙන්නම නිදි කිරන්ට පටන් ගත්තට පස්සේ. හෙට උදේ හම්බුවෙන්ට පොරොන්දු වෙලා අපි කතාව නවත්තලා නිදාගන්ට ගියා.