2 පාර දිගේ
මම ගෙදරින් පිට රැයක් ඉඳලා තියෙන්නේ එකම එක සැරයයි - ගුනේ මාමලෑ පිරිතට. එදා නම් අපෙ පවුලේ ඔක්කොම එහෙ.
මම කවදාවත් ලොකු අත්තත් එක්ක කොහෙවත් ගිහිල්ලත් නෑ වෙලටයි වැවටයි ඇරුනුකොට. සේරම කියනවා වගෙ උන්දැට පිස්සුද දන්නෙත් නෑ. මුමුන මුමුනා මොන හූනියමක් කරයිදත් දන්නෙ නෑ.
අනික් අතට බලනකොට උන්දෑ කවදාවත් මට ගහලා බැනලා නෑ. මට කතා කරෙත් "කොල්ලා", "පැටියා" කියලා නෙවෙයි, "සිරි" කියලා. මට එහෙම කතා කරේ උන්දෑ විතරයි. ඒ ඇරුනුකොට, කී දෙනෙකුටද වන්දනා ගමනක් යන්ට ලැබෙන්නේ. සමහරවිට අනුරාධපුරෙත් යයි. මම ගියා ලොකු අත්ත හොයාගෙන මෙවුවා ගැන අහගන්ට.
ලොකු අත්තා මහ කාමරේ කොනේ තිබුන උන්දෑගේ පෙට්ටගම ඇරගෙන ඒකෙන් එක එක දේ එලියට ගන්නව. රෙදි පිලි ඇරුනුකොට එලියට ගත්තා පිත්තල සෙම්බුවක්,පොඩි කොපුවක දාපු පිහියක්, ලබු කට්ටක්, තව පිත්තලෙන් හරි යකඩෙන් හරි හදපු මෙවලං ටිකකුයි. අපෙ අත්තා ලඟ මොන මොන දේවල් ඇතිද කියලා කවුද දන්නේ. මේ සේරම දෙ අරගෙන උන්දෑ එලියට ඇවිල්ලා පිලේ ඈඳි ගත්තා.
"සිරී උඹ උඹෙ පැදුර අවුවට දාපන් අර කම්බායත් එක්ක. අම්මගෙන් සාලුකුත් ඉල්ල ගනින්. ඊට පස්සෙ පොල් කටු දෙකක් ගාලා ගනින් අරන් යන්ට. අර පෙට්ටගමට පිටිපස්සේ ඇති මල්ලකුයි හැරමිටි දෙකකුයි. මට ඒ දෙක ඉස්සරවෙලාම ගෙනත් දීපන්කො."
"ලොකු අත්තා අපි කවද්ද ආපහු එන්නේ"
"යන්ට ඉස්සර එන එක ගැන හිතන්ට එපා. වෙලාව හරි උනාම එනවා"
"එතකොට කන්නේ?"
"අපි යන පලාත්වල අයත් කනවනේ"
"එතකොට බුදියෙන්නේ...නෑ නෑ කියංට එපා. ඒ පලාත්වල අයත් බුදියෙනවා..." කියනකොට මට හිනහ ගියා.
"හරියට හරි. එහෙම තමයි හිතන්ට ඕනෑ"
ලොකු අත්තා එහෙම කියනකොට මටහරි සන්තෝසයි.
මම ගියා මට බාරදීපු දේ කරන්ට.
පෙට්ටගම පිටිපස්සේ තිබුන මල්ල අමුතුයි. හමකින් හදලා තිබුනට දරදඬු නෑ මුව හම වගේ. හරිම සිනිදුයි. ඒකේ පටි දාල තිබුන වටේටම කරේ එල්ලාගන්ට. ඒක අරින්ට බැලුවා හැබැයි මට බැරිඋනා හම් පටි ගැටගහලා තිබුන හැටියට. හැරමිටි දෙකෙන් එකක් ලොකුයි අනිකට වැඩිය. සියඹලා ලීයෙන්දෙ කොහෙදෝ හදලා තිබුනේ, හයියයි බරයි.
"මොනවද ලොකු අත්තා මේ හං ජාතිය?"
"ඕක ඌරු හමක්. ඒකයි ඔයතරම් හයිය උනාට බර නැත්තේ. ආ මේක උඹෙ හැරමිටිය"
"මට මොකොටද හැරමිටියක්? මේක හුඟක් පරනද?"
"ඕක මම හැදුවේ දැන් අවුරුදු පහකට විතර ඉස්සර. මේ ගමනට ගන්ටමයි හැදුවේ"
"ලොකු අත්තා මාත් එක්ක වන්දනාවේ යන්ට හිතලා හුඟාක් කල්ද?"
ලොකු අත්තා මං දිහා බලාගෙන හිටියා කතා නොකර ටිකක් වෙලා. "උඹ උපන්දා හිටන්" කියල උන්දෑ ගේ පැත්තට ගියා.
සාලුවක් ඉල්ලගන්ට කියලා මම යනකොට ලොකු අත්තා අම්මත් එක්ක කතා කර කර ඉන්නවා.
"දුවේ, කලු බන්ඩත් ආපුහාම අපි සේරම පිදුරන්ගල හාමුදුරුවෝ හම්බුවෙන්ට යං. සිරීට පිරිත් නූලක් බන්දවන්ටත් ඕනෑ. හාමුදුරුවෝ උඹලා දෙන්නටත් කතා කරන්ට ඕනෑ වෙයි සිරී ගැන. මටත් කතා කරගන්ට දේවල් තියෙනවා"
"මාමන්ඩී වේලපු දෙල්පෙතියි කොස් ඇටයි තියෙනවා ගෙනියන්ට . වෙන මොනවද ඕනෑ? "
“මොකුත් එපා මටනං . පොඩි එකාට ඕනැ දෙයක් ඇත්තන්...”
"අම්මා මම ගුනේ මාමලගෙ ගෙදර ගිහින් එන්නන්? "
"එහෙනන් ගිහින් අප්පච්චිත් එක්කම වරෙන් නාගෙන"
අපි පිදුරංගල ගියේ ඉර බැහැගෙන එනකොට. මගදී වැඩි කතාවක් නෑ. අම්මා පොල් තෙල් ටිකකුයි ඉද්ද මල් කීපෙකුයි ගෙනාවා.
පන්සල කිට්ටු වෙනකොට ලොකු අත්තා ඉස්සර උනා. උන්දෑ මාත් අතින් අල්ලාගෙන ලොකු හාමුදුරුවෝ හම්බු වෙන්ට ගියා. අම්මා මල් පූජා කරනකන් අප්පච්චී බෙර ගහන සිට්ටියත් එක්ක කතා කර කර හිටියා වැස්ස නැති එක ගැන.
ලොකු හාමුදුරුවෝ කිසි දෙයක් නොකියා හිටියා අපි වැඳලා ඉවර වෙනකන්.
"ලොක්කෙ කාලයක් තිස්සේ අර ඇදපු දිග ගමනට ලෑස්ති වගේ. ලමයත් ලෑස්තිද?"
"මං මොකොවත් කියලා නෑ. මං හිතුවේ අපෙ හාමුදුරුවෝ ලමයට ටිකක් කතා කෙරුවොත් හොඳයි කියලා"
“එහෙනන් ගිහින් දෙමවුපියන්ට කතා කරන්ට හොඳයි මම ලමයට කතා කරනකං"
"දරුවා දන්නවද ලොක්කෙ මේ යන ගමන කොච්චර කාලයක් පෙරුම් පුරපු එකක් ද කියල?"
"එහෙයි...මං උපන්දා ඉඳන්ලු"
"මොනවා බලන්ටද යන්නේ කියලා දන්නවද?"
"... සිද්දස්තාන..."
"ඔවු ඒක ඇත්ත. හැබැයි ලොක්කේ සිද්දස්තානයක් කියන තැනුයි අපි සිද්දස්තාන කියන තැනුයි වෙනස්. "
මම මොකොවත් නොකියා ඉන්නකොට හාමුදුරුවෝ මෙහෙම කියනවා.
"මෙහෙම හිතලා බලන්ට. දරුවගෙ අප්පච්චී හොඳ ගොවියෙක්. එයාට පේනවා හොඳ නියරකයි අබලං නියරකයි වෙනස. ඒ වගේම දැනීමක් තියෙනවා ලියද්දක වතුර පාලනේ කරන හැටි. හැබැයි ගෙදෙට්ට වතුර බොන්ට ලිඳක් ඕනෑ කියලා හිතෙන්නෙ නෑ ඒක ගොවි වැඩක් නොවෙන හින්දා. ලොක්කෙටත් එහෙමයි. ගලෙන් ගඩොලෙන් ලීයෙන් කරන ඕන වැඩකට දක්ශයි. ඒ ඇරුනුකොට කෑමක් ගැන වත් ඇලුමක් නෑ."
"මම කියන්නේ ලොක්කෙ දාගැබක් දිහා බලනකොට හිතන්නේ ඒකේ ආගමික වටිනාකම නෙවෙයි ඒකේ නිර්මානයයි ඉදි කිරීමයි නඩත්තුවයි වගේ දේ. උන්නැහේට ඒක තමයි වන්දනාවක් වෙන්නෙ."
"ඒ වගේම මතක තියා ගන්ට ඕනැදෙයක් තියෙනවා. වැඩිය කතා නොකර හිටියට ලොක්කෙ මේ ගමේ විතරක් නෙවෙයි මුලු රටේම ඉන්න උගතෙක්. ගෙවල් දොරවල් මාලිගා උද්යාන ගැන විතරක් නෙවෙයි බොහෝම දේවල් ගැන දන්නවා. මටත් වැඩිය හොඳට කියවනවා ලියනවා."
“ලොක්කේ ඉස්සර හිතලා හිටියේ කලු බන්ඩත් එක්ක වන්දනාවේ යන්ට. ඒ දැන් බොහොම කලකට ඉස්සර - සිරී ඉපදෙන්ටත් ඉස්සර. හැබැයි කලු බන්ඩට ආසාවක් තිබුනෙ නෑ. සමහරවිට ටිකිරි මැනිකෙත් එපා කියන්ට ඇති. අනිත් එක දෙන්නා බහ දීලා හිටියේ.”
“එතකොට කලු බන්ඩ කිව්වලු 'මට කොල්ලෙක් හිටියොත් අප්පච්චී වන්දනාවේ එක්ක යන්ට' කියලා. "
"කලු බන්ඩා හොඳටම දන්නවා ලොක්කෙගෙ දක්ශකං උගත්කං ගැන. ඒ වගේම දන්නවා කවදාවත් ලොක්කේ මුනුබුරෙක්ගෙ එක කෙස් ගහකටවත් හානියක් වෙන්ට දෙන්නෙ නැති බව. මට හිතෙන්නේ කලු බන්ඩට දැන් හිතෙනවා ඇති 'අපරාදෙ ගියෙ නැත්තේ' කියලා. "
"කලු බන්ඩයි ටිකිරි මැනිකෙයි දෙන්නටම මම කතා කරලා තියෙනවා මේක ගැන. හිතට කොච්චර අමාරු උනත් එවුන්දලා දන්නවා සිරීට හොඳක් මිසක් නරකක් වෙන්නෙ නැති බව."
"මං දෙන එකම අවවාදේ තමයි ලොකු අත්තා කියන දේ අහලා කියන විදිහට ඉන්ට කියලා."
"දැන් අනික් අයත් ගෙන්නල පිරිත් නූලක් බැඳලා දාමු. මොකොවත් පුරස්නයක් තියෙනවද?"
මම බාගෙට නිදිමතේ ඔලුව හොල්ලලා නෑ කිව්වා. ගෙදර එනවාවත් මතක නෑ දැන්!
අපි නැගිට්ටේ උදේ පාන්දර. අම්මයි අප්පච්චියි දෙන්නම නැගිටලා හරියට හීල් දානේ ගෙනියන්ට ලෑස්ති වෙනවා වාගේ. අම්මා අග්ගලා හදලා කොල කැඳ එක්ක කන්ට තියලා තිබුනා. මගට ගන්ට පොදියකුත් බැඳලා.
අප්පච්චී උන්දැගෙ කරවටේ තිබුන සුරේ ගලවලා මගේ ඉන වටේ බැන්දා කටෙන් වචනයක් වත් නොකියා. මම අප්පච්චිටයි අම්මටයි දන ගහලා වැන්දා. ඒ ගමන්ම ඒ දෙන්නා ලොකු අත්තට දන ගහලා වැන්දා. ලොකු අත්තා දෙන්නගෙ ඔලුදෙක උඩ අත් තියලා මැතුරුවා "විල් ටේක් ගුඩ් කෙයා ඔෆ් හිම්".
ලොකු අත්තා එයාගෙ ඌරුහම් මල්ල පිටේ බැඳගත්තා හම් පටි වලින්. ඒකේ පිටින් බැඳලා තිබුනා අකුලපු පැදුරයි තල අත්තයි. ලබු කට්ටයි සෙම්බුවයි වගේ දේ එල්ලෙනවා එලියෙන්. හැරමිටිය විතරයි අතට ගත්තේ.
මගේ මල්ල කොලපොත් වලින් හදපු එකක්. ලොකු අත්තා ඒකටත් පටි බැඳලා දුන්නා මගෙ පිටේ එල්ලන්ට පුලුවන් වෙන්ට. මාත් මගෙ හැරමිටිය අතට ගත්තා පුරුදු කාරයෙක් වගේ.
ලොකු අත්තා යාන්තන් රෝස පාට වෙන අහස දිහා බලලා කිව්වා "එහෙනන්...?" කියලා. මම එකම සැරයක් ආපහු ගෙදර දිහා බලලා ලොකු අත්තත් එක්ක පාරට බැස්සා.
ලොකු අත්තා කෙලින් ඉස්සරහ බලාගෙන සද්ද නැතුව අවිදිනවා. එක තාලෙකට කකුල් තියන්නේ, නැට්ටුවෙක් වගේ. මල්ලේ එල්ලෙන පිත්තල සෙම්බුවත් "ටනං ටනං" ගාලා තාලම් පොට ගහනවා වගේ ලබු කට්ටේ හැප්පෙනවා අඩියෙන් අඩියට. අත්තා යන වේගේ වෙනසකුත් නෑ මහන්සි ගතියකුත් පෙනෙන්ට නෑ . නාකි උනාට උන්දෑ ඇවිදින්ට පටං ගත්තාම තරුනයෙක් වගේ.
ගෙදරින් පිටත් වෙලා දැන් හුඟක් වෙලා. අව්වත් සැර වේගෙන එනවා. ටිකක් නැවැතිලා ගියොත් හොඳයි කියලා මටනම් හිතුනා. හැබැයි හාමුදුරුවෝ කියපු එක මතක්වෙලා මම උන්දෑ කතා කරනකන් කට වහගෙන හිටියා. මට ටිකක් මහන්සි බව දැනගත්තා වගේ ලොකු අත්තා හිටපු ගමන් පාරෙන් අයින් වෙලා හෙවනේ තියෙන ගල් ගෙඩියක් උඩ වාඩි උනා.
"දැන් වතුර උගුරක් බීපන් මේ වේලපු අඹ කෑල්ලක් හපලා "
ලොකු අත්තා ඒක තමා පලවෙනියට කිව්වේ ගෙදරින් පිටත් උනාට පස්සෙ.
ලොකු අත්තා කතා කරන්ට පටන් ගත්තා හරියට පන්සලේ ගුරු හාමුදුරුවෝ ඉතිහාසේ කියනවා වගේ.
“දාඩිය දානකොට ඇඟේ තියෙන වතුර විතරක් නෙවෙයි එලියට එන්නේ - ඇඟට ඕනෙ කරන තව ලුනු ජාති එහෙමත් එලියට එනවා. ඒකයි දාඩිය ලුනු රහ. අපි එවා ආපහු දාන්ට ඕනෑ. ඒක තමා වතුර විතරක් බීලා මදි. වේලපු අඹ වල පැනිරසට සීනිත් තියෙනවා ලුනු ජාතිත් තියෙනවා ලුනු දාලා වේලන හින්දා. වතුරත් එක්ක ගත්තම ඇඟට හොඳයි.”
මට නං ඇඟ ගැන ඒතරම් අදහසක් නෑ හැබැයි ඒ වෙලාවට අඹයි වතුරයි රජ බොජුන් වගේ.
"මේ හරියට කියන්නේ දිගම්පතහ කියලා. අද රෑට රිටිගල කන්දට යන්ට ඕනෑ. දුර නම් කරදරයක් වෙන්නෙ නෑ හැබැයි අලියෝ හිටියොත් තමා කරදරේ. "
"රිටිගල ඉන්නවා මම දන්න හාමුදුරු කෙනෙක්. එවුඋනාන්සෙ මම දැකලා නෑ දැන් කාලෙකින්. මහන වෙන්ට ඉස්සර අපි දෙන්නා එකට හිටියේ. එයා බාසා වලට හරි දක්ශයි."
එන්ට එන්ට ලොකු අත්තගෙ කට හඩ මොළොක් උනා හරියට තමන් ගේ කෙනෙක් ගැන කතා කරනවා වගේ.
“ඇයි ලොකු අත්තා ගියෙ නැත්තේ මීට ඉස්සර එඋන්නාන්සේ හම්බුවෙන්ට?”
ලොකු අත්තා කතා නොකර හිටියා සෑහෙන වෙලාවක්. කතා කරනට පටන් ගත්තේ බොහෝම ගැඹුරු කට හඹකින්.
“සිරී යන වන්දනාව නෙවෙයි මම යන්නෙ.... සිරී යන්නේ ලොකු අත්තත් එක්ක රට බලලා ආපහු ගමට ඇවිල්ලා කයිවාරු ගහන්ට. ඒකේ කිසි වැරැද්දක් නැ. ඔය වයසට සමහරවිට මමත් කරන්නේ ඕකම තමයි. හැබැයි මගේ වන්දනාව වෙනස්."
ලොකු අත්තා ආයෙත් කතාව නවත්තලා ටිකක් හිටියා. අග්ගලා මුලයි වතුරයි මං පැත්තට තල්ලු කරා.
"මේ ගමනෙන් පස්සේ අපි කොහෙ යනවද දන්නෙ නෑ. ඒක හින්දා තමයි මම මේ කියන්නේ... මම ආයෙ සීගිරියට එන්නෙ නෑ සිරී. මම යන්නේ මගෙ සහෝදරයයි සහෝදරියි හම්බුවෙන්ට. උඹලෑ අප්පච්චිවත් දන්නෙ නෑ අපේ පවුල ගැන ඒතරම් මොකොවත්. මම මේ 'වන්දනාව' යන්නේ උඹට මේ ටික කියන්ට. මට පස්සේ උඹ තමයි අපෙ පවුල ගෙනියන්නේ."
"ලොකු අත්තා ආපහු සීගිරියට එන්නෙ නැත්තන් කොහාටද යන්නෙ? කොහෙද ලොකු අත්තගෙ අනික් නෑදෑයෝ ඉන්නේ? "
"දන්මම කියන්ට බෑ සිරී. මොකොද මමවත් හරියට දන්නෙ නෑ. සමහරවිට රිටිගලින් දැනගන්ට පුලුවන් වෙයි.... උඹට කියන්ට හුඟාක් දේ තියෙනවා. හැබැයි තේරුම් ගන්ට ලේසි වෙන්ට ටිකින් ටික තමයි කියන්නෙ."
අත්තා ගලෙන් නැගිට්ටා.
"මහන්සි නැත්තං දැන් පිටත් වෙමු. රිටිගල කන්ද පාමුල තමා අද රෑ නවතින්නේ. අද රෑ උඹට හම්බු වෙයි මගෙ මලයා - එතන ලොකු හාමුදුරුවෝ."
[1408]