1 ලොකුඅත්තා

අප්පච්චී කුඹුරේ වැඩ ඉවරවෙලා ගෙදර එනකොට ඉර බැහැගෙන යනවා. මමත් මී හරකා බැඳලා එතකොටම වගේ ආවා. අද හීයක් නැති හින්දා මිවුවා දවසම නිදැල්ලේ. හෙට තමයි ආයෙත් ගුනේ මාමලාගෙ කුඹුරට ගෙනයන්නේ. මාමගෙ පුතා සුමනෙයා කිවුවා වතුර ඇති කියලා හෙට හාන්ට.

වැස්ස නැතිඋනත් අපිට තවමත් වැවු වතුර තියෙනවා. අප්පච්චී කියන හැටියට ඒකෙන්ම තමයි ගැටගහගෙන ඉන්නෙ; හැබැයි මේ කන්නෙන් පස්සෙ මොනව වෙයිද කියනට බැරිලු. දැන් ඉතින් මෙහෙ වෙල් විදානෙලා නෑ, ඔක්කොම අනුරා ධපුරේ ගිහින් මුලු රජ පරපුරත් එක්ක. අපෙ නෑදෑයෝ එහෙමත් ගියා, නොයා බෑනෙ මුලු රාජ්ජියම ආපහු අනුරාදපුරේ ගියහම. අපෙ සීගිරියටයි වටේ ගං වලටයි තමා ඒකෙන් පාඩුව.

රජ්ජුරුවෝ කියලා මම කිවුවේ මොග්ගල්ලාන මහ රජ තුමාට. එවුන්නාන්සේ ඉස්සර හිටපු එක්කෙනා යුද්දෙන් පරද්දලා රජ උනේ. දෙන්නා සොහෝදරයොලු. පුදුමයි සහොදරයෝ යුද්ද කරන එක. ඇයි දන්නෑ අම්මලා අපප්ච්චිලා එපා කිවුවෙ නැත්තේ. කොහොම උනත් රජ පැලැන්තියේ ඔක්කොම ගියාලු අනුරා ධපුරේට. මේවා උනේ මං ඉපදෙන්ටත් ඉස්සර.

දැන් මාලිගාවල් පාවිච්චි කරන්නේ හාමුදුරුවෝ. රජ්ජුරුවෝ ඔක්කොම බාර දීලලු ගියේ.

ඉස්සර නම් මේ පලාතේ මීට වැඩිය හුඟාක් මිනිස්සු හිටියලු. ගුනේ මාමා කියනවා අපි ඉන්න හරියේ සෙබලෝ, මුර කාරයෝ, මාලිගාවෙව වැඩ කරන අයගෙ පවුල් එහෙමලු වැඩියම හිටියේ. මොකොද මේ ඉඩං මාලිගා පරුවතේටත් එලවළු හේන් වලටත් ඒතරම්ම ඈත නැතිනිසා. නිතරම වාගේ පෙරහැරවල්, කෙලි සෙල්ලම් එහෙමත් තිබුනලු. උද්යාන පිරිලා සෙනගලු. සින්දු කියනවලු, නටනවලු, බෙර හොරනෑ සද්දේ ගවුවක් දුර ඇහෙනවලු. දැන් නම් බෙර පදයක් වත් ඇහෙන්නේ පෝය දවසට විතරයි.

ගුනේ මාමා ඇත්තටම අපේ මාමා කෙනෙක් නෙවෙයි. බොරුද දන්නෙ නෑ ඔය කියන්නේ.

අපෙ පවුලෙන්ම අප්පච්චියි අම්මයි මමයි විතරයි තවම සීගිරියෙ ඉඳන් රාජකාරියට කුඹුරු කොටන්නෙ. අපෙ නාකි ලොකු අත්තත් ඉන්නව තමයි හැබැයි එවුන්දැට කුඹුරු වැඩ මොකවත් බෑ දැන්.

මගේ නම සිරියා. අප්පච්චි කලු බන්ඩා; අම්මා ටිකිරි මැනිකේ. ලොකු අත්තට නම් මිනිස්සු කියන්නේ ලොක්කෙ කියලා. මගෙ හිතේ ඒක ඇත්තම නම නෙවෙයි; නිකමට කියන එකක්.

ගමේ හැටියට අපේ ගෙදර ටිකක් ලොකුයි. කාමර දෙකක්ම තියෙනවා වරිච්චියෙන් හදපු. පොල් අතුවලින් තමයි එලියේ කෑල්ලයි උයන ගෙයයි හදල තියෙන්නේ. මිදුලෙයි වටේ ඉඩමේ අපිට පොල් ගස් හයක් තියෙනවා. ඒ ඇරුනුකොට කජු ගහකුත් කොස් පැලේකුත් දෙහි වැලකුත් තියෙනවා. මීමා බඳින තැන තිබ්බටු එහෙමත් හැදෙනවා. ඇත්තටම කියනවානම් අපිට කෑමෙන් අඩුවක් නෑ.

මේ ඉඩම මාලිගාවෙන් ගත්තෙයි ගෙදර හැදුවෙයි ලොකු අත්තලු. ඉඩම වැවටත් කිට්ටුයි හැබයි වල් අලි යන පාරට ඈතයි. අපිට අලියන්ගෙන් කරදර නැත්තේ ඉඩම තියෙන තැන හින්දා කියලා මිනිස්සු කියනවා.

අප්පච්චි ඇඟ හෝදාගෙන අවිල්ල පිලේ ඈඳිගත්තා. ලොකුඅත්තා කජු ගහ යට බංකුවේ මහා කල්පනාවකින්. මමත් එතනම බිම පොල් කූරකින් ඉරි ඇඳ ඇඳ හිටියා. අම්මා මුට්ටියකින් පොල් පලා ගෙනත් පොල් කටු වලට බෙදනවා.

අප්පච්චී පොල් කට්ට අතට අරන් අම්ම දිහා බලලා "හ්ම්..." කියනවා.

ලොකු අත්තා ලොකු කල්පනාවෙන් බිම බලාගෙන අම්ම එනවා දැක්කෙත් නෑ.

"මාමන්ඩී පොල් පලා..."

ලොකු අත්තා ඔලුව හරවන්නෙවත් නැතුව අත දික්කරලා පොල් කට්ට අතට ගත්තා.

"තෑන්ක් යූ ම ඩියර්" කියල හෙමීන් කොඳුරලා ආයෙත් කල්පනාවට වැටුනා.

ලොකු අත්තා ඉඳල හිටල ඔහොම එක එක දේ මුමුනනවා. කාටවත් තේරෙන්නේ නෑ.

අම්මා කියනවා "ඔය වයසට යනකොට එහෙම තමයි" කියලා. මම නම් හිතන්නේ අත්තා මතුරනවා ඇති අපල නැතිකරන්ට හරි සෙත් පතන්ට හරි. මට හිතන්නෙ නෑ උන්දෑ හූනියන් කරනවා කියලා.

අප්පච්චී එක සැරයක් කිවුවා "උඹ උඹේ පාඩුවේ හිටපන්. ලොකු අත්තා ටිකක් වෙනස්. සමහරවිට අරාබි බාසාව වෙන්ටත් පුලුවන් ඈත පලාත්වලින් ඉගෙනගත්ත".

ලොකු අත්තගෙන් කෙලින්ම අහන්ට මම බයයි. මොකොද, ලොකු අත්තලු අප්පච්චිටත් හොඳටම සැරකරලා සීගිරියේ නවත්ත ගත්තේ. අනුරා ධපුරේ යන එක ගැන කතාකරනකොට උන්දෑ කෑ ගහලා කිවුවලු "හදාපු එක අතාරින්නේ රජවරුයි වල් සත්තුයි විතරයි - මිනිස්සු උනහම එව්වා බලාගන්නවා, දියුනු කරනවා". ඊට පස්සේ කවුරුත් අනුරාධපුරේ ගැන කතාකලේ නැතිලු.

දැන් අප්පච්චියි අම්මයි මමයි කුඹුරෙයි වත්තෙයි වැඩ කරනවා ඕනෑ ඕනෑ හැටියට. පෝයට මම පොඩි හාමුදුරුවන්ගෙන් අකුරු ඉගෙන ගන්නවා.

ලොකු අත්තට මේ වැඩ බෑ. මුලු දවසම වගේ මාලිගා පරුවතේ පාමුල උද්යාන අතරේ ඇවිදිනවා. එක එක දේ හෝදිස්සියෙන් බල බල යනවා හරියට අයිතිකාරයා වගේ!

එදා රෑ නිදාගන්ට ඉස්සර ලොකුඅත්තා මට කතා කරා.

“සිරී හෙට පන්සල් යනවද?”

“නෑ ලොකුඅත්තා. හෙට පාඩං නෑ”

“මට කාරනාවක් කතා කරගන්ට තියෙනවා සිරිත් එක්ක. එහෙනං හෙට..”

එහෙම කියලා අත්තා එලියට ගියා.

මම පහුවදා උදේ ඇහැරුනේ අම්මා මට කතාකරනවා ඇහිලා. එතකොට යාන්තන් වටින් ගොඩින් එලිය වැටීගෙන එනවා. අම්මා "සිරියෝ උඹ ඇහැරලාද බං" කියලා මගෙන් හිමින් ඇහුවා. මම කිසි දෙයක් නොකියා හිමිහිට පැදුරේ ඉඳගත්තා.

"ගිහින් මිවුව දිගිල් කරලා දාපන්. අද ගුනේ මලයලෑ දිහාට ගෙනියන්ට එපැයි"

එතකොට තමයි මට මතක් උනේ එවුන්දැලාගෙ හීය අද කියලා. මිවුවා එක්ක යන්ට ඉස්සර පිදුරු කට්ටයක් කඩලා කන්ට දීල වතුරත් දෙන්න්ට ඕනෑ. ඌ මගෙ හින්දා ඌ බලාගන්නෙත් මම.

මම මිවුවට කන්ට දීලා උගෙ පිට අතගගා ඉන්නකොට අත්තා ආවා ඒපැත්තට.

"උඹ අද ගුනෙයලා ගෙ දිහා වැඩද?" කියලා අත්තා ඇහුවා.

"නෑ ලොකු අත්තා. මේකා අරන් ගිහින් සුමනෙ අයියට දීල එනවා. වැඩට කට්ටිය ඉන්නවලු. ආයෙ ඉර හැරුනම ගිහින් ගේනවා."

"නිකම්ම ඉන්ටද අදහස?"

"අම්ම කිවුවා අර පහල කෑල්ලේ ලන්ද එළිපහළි කරලා දාන්ට කියලා ලොකු අත්තා"

අත්තා ටිකක් මොකොවත් නොකියා මා දිහා බලාගෙන හිටියා ටිකක් වෙලා. මාත් මිවුවා අත ගගා බලාගන හිටියා අත්තා කතා කරනකන්.

"හොඳයි ගිහින් වරෙන්කෝ. අපි දෙන්නට පොඩි වැඩක් තියෙනවා අද."

අත්තා එහෙන්ම ආපහු හැරිලා ගෙදර පැත්තට ගියා.

මාත් වැව ලඟට ගිහින් මූන කට හෝදාගෙන ගෙදර ආවා. ගෙට ලං වෙනකොට මට ඇහෙනවා ලොකු අත්තා අප්පචිත් එක්ක කතාකරනවා.

"උඹ්ට පුලුවන් නේ ගුනෙයගෙ වැඩ ඉවරවුනහම මිවුවත් අරන් එන්ට?"

"අප්පච්චි මගෙ කොල්ලා දුර ගමන් යන්ට බාල වැඩි නැද්ද?" අප්පච්චි කතාකරන්නේ ටිකක් තරහෙන්.

"උඹට බැරි උනාට කොල්ලට බැරි නෑ." ලොකු අත්තටත් තරහ ගිහින් වගේ.

අම්මා මං එනවා දැකලා හයියෙන් කිවුවා "සිරියෝ... පුතේ... මේ කැඳ බීලා ගුනේ මලයලෑ ගෙදර ගිහින් වරෙන්."

මට එතකොටත් හිතුනා එහෙම කිවුවේ අනික් කතාව නවත්තන්ට කියලා. අප්පච්චියි ලොකු අත්තයි බිම බල්ලගෙන කැඳ බොනවා කතාවක් නැතුව. "සුරුස් සුරුස්" ගාලා කැඳ බොන සද්දේ විතරයි.

අම්මා මට "පුතා" කියලා කතා කරන්නේ ඉඳලා හිටලා. ලොකු මොකද්දෝ එකක් මෙතන වෙනවා.

මම ඉක්මනටම කැඳ ටික ගිලලා ගියා මිවුවා ලිහා ගන්ට.

සුමනෙයා බලාගෙන ඉන්නවා මං එනකන්. ඌයි උගෙ නංගියි පිලේ ඉඳගෙන තම්ම්බපු වැලිකොස් ඇට කනවා. මාත් කොස් ඇට දෙකක් කටේ දාගෙන එතනම ඉඳගත්තා.

"ලොකු අත්තයි මමයි ගමනක් යනවා"

"කොහෙද බං?"

"දන්නෑ. අප්පච්චි අම්මලත් එක්කකතා කරනවා මම එනකොට"

"උන්දැට ටිකක් පිස්සු නේද" කියලා පොඩි මැනිකේ අහනවා.

"උඹට තරන් නෑ"

"සිරි අයියටහ් බෝවෙයි"

"උඹලා දෙන්න කටවහගනිල්ලා. අප්පච්චිට අහුනොත් දෙන්නටම වදී”

“මීවා නාවන්ට එන්නෙ නැද්ද?"

"අප්පච්චි ඌ ගෙනෙයි. රෑ වෙන්ට ඉස්සර එවෙයි ද කියලා දන්නෙ නෑ"

එතකොට ගුනේ මාමා ආවා.

"කොල්ලෝ මේ නගුල් එහෙම අරන් පලයල්ලකෝ"

මම ගෙදර එනකොට අප්පච්චියි අම්මයි තවම කතාව. ලොකු අත්තා පේන්ට නෑ. මං දැකලා කතාව නැවැත්තුවා. අම්මා උයනගේ පැත්තට ගියාට පස්සේ අප්පච්චි මට කතා කරා.

"උඹෙ ලොකු අත්තා දැන් වයසයි. කාලයක් ඉඳන් හිත හිතා හිටියා වන්දනාවේ යන්ට...උඹත් එක්කයන්ට ඕනෑ කියනවා" අප්පච්චි කතා කරන්නේ කනගාටුවෙන් වගේ.

"උන්දෑ කියනවා වෙසක් පෝය ඉවරවෙලා ආපහු එනවා කියලා"

"එච්චර කල්!"

"පසළොස්වක දෙක්කටත් වැඩී"

"එතකොට කන්නේ මොනවද... රෑට ඉන්නේ කොහෙද..."

"ලොකු අත්තගෙන්ම අහගනින්. හෙට උදේ පිටත් වෙනවලු"

අප්පච්චි කවදාවත් නැතුව මගෙ ඔලුව අතගාලා ටිකක් වෙලා මා දිහා බලාගෙන ඉඳලා උදැල්ලත් අරන් ගුනේ මාමලාගෙ වෙල පැත්තට යන්ට පිටත් උනා.

[1050]