වෙනස් හෙටක්
ලොකුඅත්තා නැතිවුනාට පස්සේ පවුලේ මූලිකයාවුනේ රිටිගල ලොකුහාමුදුරුවෝ නෙවෙයි. එවුන්නාන්සෙගෙ කීම නිසාමයි අපෙ අත්තම්මට පවුලේ මූලිකයා වෙන්ට සිද්දවුනේ. ඒකට සේරම කැමැතිවුනා, සමහරවිට අත්තම්මා ඇරෙන්ට. හේනෙත් ගෙදරත් වැඩ කොයි තරම් තිබුනත් මාමයි නැන්දයි ටිකිරිගෙයි මගෙයි කටයුත්ත ඉක්මනට කරන්ට කැමැතිවුනා. පවුලේ අය විතරක් එන නිසා අත්තම්මා කියපු විදිහට අපි මගුල වෙද ගෙදරදී ගත්තා. චාරිත්ර වාරිත්ර ඉවරවෙලා අපි ඔක්කම මහපංසලට ගිහින් රිටිගල ලොකුහාමුදුරුවෝ දීපු අනුසාසනයකට කන්දුන්නා. ඊට පස්සේ ආපහු ඇවිත් වෙද ගෙදරදී රස කැවිලි වලින් පස්සේ මම හේනට ගියා - තනියම.
මගුල් දවසට ඉස්සරයි පස්සෙයි හැම දවසෙම මමයි ටිකිරියි මාමයි නැන්දයි එක්ක අළුත් හේනේ වැඩ කරා. ඒ හේනේ ගෙදර වැඩ ඉවරවෙනකම් ඒ අය හිටියේ වෙද ගෙදරමයි. මගුලෙන් පස්සේ දවසේ ටිකිරි මගේ පැලට නවතින්ට ආපු එක විතරයි පිටට පෙනෙන්ට තිබුන එකම වෙනස.
අත්තම්මා ඉන්න එක ටිකිරිටයි මටයි ලොකු හයියක්. එකක් අත්තම්මා ලොකුඅත්තා වගේ හිතන කෙනෙක් වීම. ඒ කියන්නේ, ටිකිරිටත් මටත් ඕනැම දෙයක් අත්තම්මත් එක්ක කතා කරගන්ට පුළුවන් - සීලවතී නැන්දයි කිරිහාමී මාමයි එක්ක කතා කරගන්නවට වඩා ලේසියෙන්. ඒ වගේම අපි තුන්දෙනාට මොලෙන් බලලා ඕනැම වෙලාවක ඕනැම තැනක ඉඳන් කතාබහ කරන්ට පුළුවන්. අපිට තියෙන ඕන කරදරයක් අත්තම්මට කියන්ට කියලා තමා රිටිගල ලොකුහාමුදුරුවොත් මට අවවාද දුන්නේ.
“සිරී දන්නවා අයියා නැතිවුනාට පස්සේ අපෙ පවුලේ මූලිකයා මගෙ නංගී. ඒ නිසා සිරීලගෙ ඕනෑම ප්රශ්නයක් නංගිට කියන්ට පුළුවන්. සිරියි මමයි කොයිතරම් එකට කතාකරත් ලඟ ඉන්න කෙනෙකුගෙන් අවවාද ගන්න එක වටිනවා …. ඒ කියන්නේ, මම තව දවස් කීපෙකින් ආපහු රිටිගල යනවා…. ආයෙ මෙහාට එවෙයිද කියන්ට බෑ. පහුගිය දවස්වල මගේ හිත බොහෝම එහෙමෙහෙ දිව්වා - ආයෙත් හිත එකලස් කරගන්ට මට ඕනෑ…”
“… නංගී පවුලේ මූලිකයා වෙනවා වගේම සිරීටත් බාරගන්ටවෙන වැඩ කටයුතු තියෙනවා. දුනුකාර පවුලේ වැඩිමල් පිරිමියා හැටියට, අපිට උරුමවෙලා තියෙන හැකියාවන් තවත් දියුනු කරන එකත් ඒ හැකියාවන් ඇති තව අය ඉන්නවානම් ඒ අයට උදව් කරන එකත් සිරීට අයිතියි…. මම ඔය ‘තවත්’ අය කියලා කිව්වේ තිස්ස පොඩි එකා ගැන විතරක් නෙවෙයි - මට හිතෙනවා සමහරවිට ඒ වගේ තවත් අය මේ රටේ ඇති. මොලෙන් බැලීම තවත් දියුනු කර ගත්තොත් එහෙම අය හොයාගන්ට පුළුවන්වෙයි - ඉන්නවානම්”
“ටිකිරි දුවත් ඉන්න නිසා මේ වැඩ කටයුතු කරන එක සිරීට තනියම කරනවට වඩා ලේසිවෙයි…. හැබැයි හොඳට හිතට ගන්ට - ටිකිරිගෙ බලෙයි සිරීගෙ බලෙයි අතර තරඟයක් ඇතිකරගත්තොත් එක්කෙනෙකුගෙ උත්සාහෙන්වත් කිසිම පලයක් ලැබෙන්නෙ නෑ. ‘උඹට වඩා හොඳට මට මේක පුළුවන්, අරක පුළුවන්’ කියලා කියන්ට යම් දවසක හිතුනොත් වහාම මට හරි නංගිට හරි කතා කරන්ට…. හැම දීගෙකම කරදර තියෙනවා. දෙන්නට එකඟවෙන්ට බැරිදේ මතුවෙනවා. ඒක නවත්තන්ට බෑ. නමුත් එහෙම වෙලාවක් ආපු වහාම මතක්කරගන්ට සිරී ජීවිතේ වටිනාකම තියෙන්නේ සුලු විවාදෙකින් ජයගන්න එකේ නෙවෙයි කියලා. සිරීගෙයි ටිකිරිගෙයි විතරක් නෙවෙයි පවුලේ අනික් අයගෙයි, අනාගත දරුමුනුබුරන්ගෙයි, සමහරවිට රටේමයි ඉරණම පවතින්නේ ඒ මොහොතේ කියන කරන දෙයින් නිසා කියන කරන සෑම දෙයක්ම හිතලා බලලා කරන්ට ඕන….. මම පාවිච්චි කරන එක නීතියක් සමහරවිට සිරීට උදව් වෙයි - යමක් කියන්න කරන්න ඉස්සර මම හිතලා බලනවා මම එක කියන්නේ කරන්නේ ‘ඇයි’ කියලා”
“උදාහරනයක් - කවුරුහරි සිරීට බුලත්විටක් දෙනකොට සිරී ඒකට ‘එපා’ කියන්නේ හිතලා බලලද? සමහරවිට සිරී බුලත් නොකන්නෙක් වෙන්ට පුළුවන්. නැත්නම් වෙදා බුලත් කන්ට එපා කියලා වෙන්ට පුළුවන්. හැබැයි සමහරවිට ‘එපා’ කියන්නේ බුලත් දෙන මිනිහත් එක්ක හිත හොඳ නැති නිසා වෙන්ට පුළුවන්. නැත්නම් එයා ‘අඩු කුලේක’ වෙන්ට පුළුවන්. නැත්නම් සිරී මිනිහගෙන් බුලත් නොකන බව ලඟ ඉන්න කෙනෙකුට පෙන්වන්ට වෙන්ට පුළුවන්. තව බොහොම වෙන වෙන හේතු තියෙන්ට පුළුවන්. ඒ නිසා තමා යමක් කරන්නේ කියන්නේ ’ඇයි’ කියලා දැනගන්නකම් කිසි දෙයක් නොකර නොකියා ඉන්න එක හොඳයි කියලා මම කියන්නේ. වෙන විදිහකට කියනවානම් - අර බුද්දාගමේ කියනවා වගේ තමංගෙ හිත අඳුනාගෙන ඉන්ට හිත කියනදේ කියන්ට කරන්ට ඉස්සර….”
“මම මේවා කියන්නේ සිරීට උදව්වට මිස නීති දාන්ට නෙවෙයි. රටේ මහරජතුමෙක් නීති දැම්මත් සිරී කියන කරනදේ වලදී සිරීගෙ හිත තමා රජ කරන්නේ. තමංගෙ හිත තේරුම්ගත්තොත් ඉතුරු ටික ඒ තරම් අමාරු වෙන්නෙ නෑ”
මම අපෙ ලොකුහාමුදුරුවන්ගෙ වචන අහගෙන හිටියේ ආයෙ කවදා උන්නාන්සෙගෙ අවවාදයක් අහගන්නද කියලා හිතමිනුයි. ලොකුහාමුදුරුවෝ ආයෙත් රිටිගල යන බව මගෙ යටි හිතේ තිබුනට සමහරවිට ආයෙ අනුරාධපුරේට නොඑයි කියලා මම හිතුවෙ නෑ. විශේෂයෙන්ම දැන් අත්තම්මත් මෙහෙ නිසා. නමුත් ලොකුහාමුදුරුවෝ හිතන්නේ අපි වගේ නෙවෙයි වෙන්ට ඇති.
…………………
“සිරී ලඟදී අම්මයි අප්පච්චියි බැලුවද?”
ටිකිරි මෙහෙම ඇහුවේ ගොම්මන් වෙලාවේ මම ගෙදර මිදුලේ බංකුවේ වාඩිවෙලා ඉන්නකොටයි. හැමදාම වගේ මේක අපෙ ‘කතා වෙලාවයි’. වැස්ස නැති කාලෙට ගොම්මන් වෙලාව හරිම නිස්කලංකයි. රැහැයි සද්දේ හැරුනුකොට ආයෙ තියෙන්නේ ඉඳ හිට ඇහෙන වවුල් හරි බකමුහුණු සද්ද විතරයි.
හේනේ වැඩ ඉවරවෙලා ටිකිරි රෑවෙන්ට ඉස්සර ගෙදර එන්නේ රෑට කන්ට මොනවාහරි තම්බාගන්ටයි. මම ගෙදර එන්නේ වැඩ ඉවරකරලා ලිඳෙන් ඇඟත්, පාවිච්චි කරපු ආයුද එහෙමත් සෝදාගෙන. එතකොට වටින් ගොඩින් කරුවලවීගෙන එනවා. ටිකිරියි මායි එකට බංකුවේ වාඩි වෙලා පොල්පලා බොන්නේ ඇඟේ මහන්සිය නැතිකරගන්නවටත් වැඩිය ගෙදරින් පිට දෙන්නට කිට්ටුවෙන් වාඩිවෙලා කතා කර කර ඉන්ට ලැබෙන එකම වෙලාව මේක නිසයි. මම පිරුනු හිතකිනුයි ටිකිරි දිහා බැලුවේ.
“ඇයි ටිකිරි බැලුවද?”
“නෑ …. මම සිරීට නොකියා තිස්ස මල්ලී බලන්නෙ නෑ…. අත්තම්මා මගෙන් ඇහුවා කොච්චර කාලෙකට සැරයක්ද බලන්නේ කියලා”
“ගිය පෝයට බැලුවට පස්සේ බැරුවුනා…. මං තව එකක් අහන්ටත් හිටියේ…”
“මොකද්ද?”
“………… අපි සීගිරියේ ගිහින් ආවොත් නරකද?” අම්මටයි අප්පච්චිටයි නම් කිසි ලෙඩක් දුකක් නෑ වගේ. හැබැයි තිස්ස එක්ක කතාව පටන්ගන්නත් කාලේ නේද? දැන් වයස නමයට කිට්ටුයි….”
“අනේ හොඳයි …. හැබැයි අප්පුච්චට අපෙ හේනත් දාලා යන්ට පුළුවන්ද?”
“ඊලඟ පෝය දෙකක් යනකං කරන්ට එච්චර නෑ. මම මාමගෙන් ඇහුවා දැන් දවස් කීපෙකට ඉස්සර…. අකැමැත්තක් නෑ වගේ. ටිකිරි හිතනවද මාමටයි නැන්දටයි පුළුවන්වෙයි කියලා ටිකකට අපෙ එව්වත් බලාගන්ට?”
“බැරිවෙන එකක් නෑ …. ඒ හේනත් දැන් හොඳට හැදීගෙන එනවා - ආයෙත් බර වැඩකට තියෙන්නේ පොල්පැල වලට වලවල් කපන එක විතරයි…. සමහරවිට වැට ගැන බලන්ට වෙයි අර පාවුල කෑල්ලේ…”
“හැබෑට ඒ ටික මට දවස් දෙක තුනකින් කරලා දාන්ට පුළුවන්…”
“මාත් කැමතියි සීගිරි යන්ට - මං ගිහින්ම නෑ ඒ පැත්තට. දැන් අවුරුදු පහකට කිට්ටුයි … තවම මාමයි නැන්දයි තිස්ස මල්ලියි බලන්ට යන්ට බැරිවුනා…”
ටිකිරි මෙහෙම කිව්වේ හරිම දුකෙන් වගේ.
“මටත් ඒක ගානට ගියේ නෑ, හේනේ අළුත් කෑල්ලයි, මාමලගෙ හේනයි එක විදිහක් වෙනකං…. “
ටිකිරි බිම බලාගෙනයි ඊලඟට කතා කරේ.
“…. අපි ඉතින්…. අනාගතේ ගැනත් හිතන්ට ඕන එකේ…”
මට හරියට තේරුනේ නෑ හේනට වඩා අනාගතයක් ගැන.
“ඔව්… අපිට මොලෙන් බලන එව්වා ගැන වැඩිය මොකවත් කරන්ට බැරිවුනා නේද?.... මේ ගමනෙන් පස්සේ….”
ටිකිරි තවමත් බිම බලාගෙන.
“…. මං කිව්වේ අපිට පොඩි එකෙක් එහෙම…”
මට ඇහැරුනේ එතකොට. වචන ලේසියෙන් එලියට ආවෙ නෑ.
“ටිකිරි…. අපිට…? අත්තම්මට … ?”
“ඔවු… අත්තම්මට විස්වාසයි; අම්මට මම කිව්වා…”
ටිකිරිගෙ හිනාවේ අමුතු ලස්සනක් මම එ වෙලාවේ දැක්කා. ටිකිරි ලඟට කිට්ටුවෙලා අත් දෙකම අල්ලගෙන මම ඊලඟට අහපු ප්රශ්නෙට ටිකිරිට හිනා ගියා.
“ටිකිරිට ගමන් යන්ට හොඳ වෙයිද? සීගිරිය දුරයි… “
ටිකිරි මගෙ අත මිරිකුවා.
“සිරීට අමතකයිද අත්තම්මා වෙදකමට දක්සයි කියලා? උන්දැට වඩා වෙන කවුද ඕවා ගැන දන්නේ?”
……………….
කෝකටත් කියලා මම සීගිරි ගමන හෙමින් හෙමින් යන්ට තීරණේ කළා. ගමනට දවස් හතර පහක් ගත කරන්ට මම හිතුවේ පොඩි දුරකටවත් කරත්තයක යන්ට ටිකිරි කොහෙත්ම අකැමැතිවූ නිසයි. අපෙ ගමනට මාමයි නැන්දම්මයි දෙන්නම කැමතිවුනා.
“දැන් ඉතින් යන ගමනක් පරෙස්සමෙන් ගිහින් එන එක හොඳයි!” නැන්දා කිව්වේ කඳුළු පිස දමමිනුයි. ඒ කදුළු වලට හේතුව හිතාගන්ට මට අමාරුවුනේ නෑ. අපිට ගමනට කෑම පොට්ටෙනියක් එහෙමත් ලැබුනේ නැන්දගෙන්.
මාමා කිසිම දෙයක් කිව්වෙ නැතත් අපි වඳින වෙලාවේ අපෙ ඔළු අතගෑ හැටියට අපිට තේරුනා හිතේ තිබුන දේ.
අත්තම්මා විතරක් වචන පාවිච්චියට කුලෑටි කමක් පෙන්නුවේ නෑ.
“කෙල්ලේ උඹ දන්නවා දැනගන්ට ඕන දේ. ඕවා සාමාන්ය ස්වභාවික දේ. ඕන දෙයක් කොහෙදී උනත් සිරීට කියලා, ඊට පස්සේ ඕන නම් මටත් කිව්වට කමක් නෑ. සිරී - දරුවා උඹට මේවා නොතේරුනත් තියෙන මොලේ පාවිච්චි කරොත් කරදරයක් වෙන්නෙ නෑ…… ටිකිරි කෙල්ලට තියෙන්නේ ලෙඩක් නෙවෙයි කියලා වහාම මොලේට කාවද්දා ගත්තොත් හොඳයි………….. රිටිගල ලොකු හාමුදුරුවොත් බලාගෙන ගියොත් හොඳයි - උන්නාන්සේ දන්නවා උඹලා පිටත්වෙනවා කියලා…. මෙන්න මේ තෙල් කුප්පිය අප්පච්චිට දීපන් අර කකුලේ අමාරුවට ගාගන්ට. අම්මට කියාපන් තිස්ස පිදුරංගල එක්ක යන්ට හොඳයි කියලා වෙසක් පෝයට”
මාමටයි නැන්දටයි මේ කතා සම්පූර්නෙන්ම නොතේරුනත් ටිකිරිටයි මටයි හිතාගන්ට පුළුවන් අත්තම්මා සීගිරි දිහා ඉඳහිට හරි බලන බව. මේ ගැන ටිකිරියි මමයි ඉස්සරවෙලාම කතාකරේ අනුරාධපුර මහ නගරෙන් එලියට ආවට පස්සෙයි. නගරෙන් පිට වෙනතුරු අපි වචනෙන් මොකවත් නොකිව්වට මූනෙන් මූන බලන හැටියටයි නිතරම වගේ හිනාවෙන ඇස් වලිනුයි කියවුන දේ ඇති කියලා මට හිතුනා. මට දැනුනේ පුදුම සංතෝසයක් - අර ඉස්සරවෙලාම ටිකිරි දැකපු දවස්වල වගේ. මට දුකකුත් දැනුනා මේ පොඩි කෙල්ල අම්මෙක් කරන එක මා කළ වැරැද්දක්ද කියලා. මට හිතාගන්නත් බෑ අපේම කියලා දරුවෙක් ඉන්න එක කොහොම තියෙයිද කියලා. මං එතකොට තමා තදින්ම හිතට ගත්තේ ටිකිරියි පොඩි දරුවයි මගෙ ජීවිතේ දීලා හරි රැකගන්නවා කියලා.
“…. මහංසිද? පොඩ්ඩක් නැවතිලා යන්ට ඕනනං?...”
“නෑ තව ටිකක් යං….”
“අමාරු නැත්තං…. මං හිතුවේ අද රෑ තිරප්පනේ නැවතිලා හෙට පිදුරංගල පංසලේ නැවතුනොත් අනිද්දා සීගිරි යන්ට බැරිවෙන්නෙ නෑ…. කෙල්ලට අමාරුනං කියන්ට ඕනෑ - මං දන්නෙ නෑනෙ අප්පා උඹට කොහොමද කියලා!”
“යංකෝ - මං කියන්නංකෝ”
ටිකිරිගෙ හිනාවට මගෙ ඇඟ ආයෙත් උණුසුම්වී ගියා. ඊට පස්සේ නවතින කතාවක් නොකියා ඉන්ට මම හිතා ගත්තා - ටිකිරි එහෙම නොකිව්වොත්. ටිකිරිට මතක්වුන අත්තම්මා කියපු දෙයක්.
“මොකද අත්තම්මා කිව්වේ මාමගෙ කකුලට තෙලක් ගැන?”
“ඇමැට්ටිලා…. දැන් දවස් දහ පහලවකට ඉස්සර අර ගලක් පෙරලන්ට ගිහින්”
“අත්තමට සිරී කිව්වද නැත්තං අත්තම්මත් බලලද?”
මම ටිකක් හිතලා බැළුවා.
“නෑ…. මං මොකවත් කිව්වෙ නෑ …. තිසා ගමේ පංසලේ අකුරු ඉගෙනගන්ට බෑ කියපු එක ඇරුනුකොට”
“අනේ හොඳයි අත්තම්මා ඇහැ ගහගෙන ඉන්න එක…. තිසාගෙ ගමේ පංසල් කතාව හින්දා වෙන්ට ඇති අර පිදුරංගල ගමනක් ගැන කිව්වේ….”
අපෙ ගමන හෙමින්වුනත් මුළු දවල් කාලෙම වගේ ඇවිද්දා - මද්දහනේ මොකවත් කාලා හෙවනක ගත්ත විවේකේ ඇරුනකොට. මුහුනෙන් මුහුන බලාගෙන, බිම වාඩිවෙලා, මල්ලෙන් ගත්ත රොටියක්, පළතුරක් වගේ දෙයක් කාලා වැවකින් හෝ ඇලකින් සීතල වතුර උගුරක් බීම මට දිව්ය භෝජනයක් වගේ දැනුනේ. තිරප්පනේ අම්බලමයි රිටිගල බන මඩුවයි අපිට පෙනුනේ මාලිගා වගේ. කොයි තරම් වෙහෙස දැනුනත්, දහඩියෙන් නෑවුනත් අපි දෙන්නා විතරක් යන මේ ගමන තරම් ප්රීතිමත් කාලයක් මගෙ මතකේ තිබුනෙ නෑ. මම හරිම වාසනාවන්තයෙක් කියලා මට හිතුනා.
තුන්වෙනි දවසේ හවස්වීගෙන එනකොට අපි සීගිරියට ආවා. අපි ගෙදර එනකොට අප්පච්චියි තිස්සයි තවම කුඹුරේ ඉඳන් ගෙදර ඇවිත් නෑ. ගේ මිදුලේ අම්මට වැන්දැන් පස්සේ අම්මා ටිකිරි ගේ ඇතුලට එක්ක ගියේ අතින් අල්ලගෙන. මට හිතුනේ වචනෙන් නොකිව්වත් අම්මා දන්නවා ටිකිරිගෙ තත්වය - ඒක ගෑනු අයට විතරක් පිහිටලා තියෙන දෙයක් වෙන්ට ඇති.
“ටිකිරි කෙල්ලට මං ටිකක් ඇලවෙන්ට කිව්වා - හොදටම හෙම්බත් වෙලා………..”
අම්මා එහෙම කිව්වේ මට බොන්ට මුට්ටියෙන් වතුර එකකුත් ගෙනත් දීලා.
“උඹලට එන්ට දවස් කීයක් ගියාද?”
“රෑ දෙකයි අම්මා - ඊයෙ රෑ පිදුරංගල”
“පරෙස්සමෙන් පුතේ…. දුවට ඒහැටි මහන්සි වෙන එක ඒ තරං හොඳ නෑ”
අත්තම්මගෙ වචන මතක් කරගෙන මම ඒකට මොකවත් කිව්වෙ නෑ.
“අප්පච්චිලා එනකොට රෑ වෙයිද?”
මමත් හෙමින් හෙමින් වැව පැත්තට ගියේ අප්පච්චියි මල්ලියි එක්ක මාත් ටිකක් නාගන්ට හිතාගෙනයි.