13 ස්වාධ්යනය
ඊලඟ මාස තුනේ මම කුඹුරේ කම්මලේ වෙදගෙදර උදවු කරන අතරම රිටිගල ලොකුහාමුදුරුවෝ කියපු දේ ගැන හුඟක් හිතලා බැලුවා.
උන්නාන්සෙ කියන විදිහට ලොකුඅත්තා මාව අමතක කරලා නෑ. මට එක එක කර්මාන්ත ඉගෙනගන්ට හදලා තියෙන්නේ ඒ කර්මාන්තේ ගැන විතරක් හිතලා නෙවෙයි - ඒව කරන අය ගැනත් හිතලා. කුඹුරු වැඩ උගන්වන්ට ඕනෑ තරම් මිනිස්සු ඉඳිද්දී ගොයිරාල තෝරාගෙන තියෙන්නේ හේතුවක් ඇතිව. අඩුකුලේ අයටත් බෙර ගහන අයටත් අනික් අයගෙන් ලැබෙන නින්ඳා අපහාස ගැන මට උගන්නන්ටත් එක්ක. ඒ වගේම මහන්සිවෙලා වැඩකරන ගොයිරාලත් ඊට වැඩිය කම්මැලි කම්මලේ රාලත් අතර වෙනසත් මට පෙන්නන්ට වෙන්ට ඇති. වෙදරාල ගෙන් ලැබුනේ ඊට වඩා වෙනස් ජීවිතයක්. පලාතේ ගෞරව ලබන වෙදරාල මට නෑදෑයෙකුට වගේ කතා කරන එකේ වටිනාකම දැනෙන්නේ ඒක ගොයිරාලගෙ ගෙදර හිටිය කාලෙත් එක්ක සංසදනේ කරලා බලනකොට.
ලොකුඅත්තා “දොර වහගෙන” ඉන්නෙත් සමහරවිට මගේ ඉගනීම ගැන හිතලා වෙන්ට ඇති. උන්දෑ ඉන්න දවස්වල මම හුඟක් දේවල් ගැන උන්දැගෙන් අහගත්තා. ඕනැ දේකට උන්දෑ ලඟ උත්තර තිබුනා. දැන් මට යමක් දැනගන්ට ඕනෑනම් ඒකට වෙන ක්රමයක් හොයාගන්ට ඕනෑ. ගොයිරාලගෙනුයි වෙදරාලගෙනුයි අහගන්ට බැරි දේවල් මම පන්සලෙන් එහෙමත් නැත්තන් වෙලෙන්දෙක්ගෙන් හරි අහ ගත්තා. මේ පුරුද්දෙන් දැන් මම දන්නවා ප්රස්න අහන හැටිත් ලැබෙන උත්තරවල වටිනාකම මනින හැටිත්. ඒ වගේම මගෙ ප්රස්න අහන අයට හොඳට සලකන්ටත් ඉගෙන ගත්තා.
එක එක්කෙනාගෙන් ප්රස්න අහනවත් එක්කම මාව අඳුනන්නෝ ක්රමයෙන් වැඩි උනා. ඒ අතරට හාමුදුරුහුරු, හේන් ගොවියෝ, දඩයක්කාරයෝ වගේ අය ඇරුනුකොට රජ්ජුරුවන්ගෙ සොල්දාදුවෝ කීප දෙනෙකුත් එකතු උනා. ඒ අයගෙන් තමයි මම දුනු ඊතල හරනය ඉතා හොඳටත් කඩු හරනය යන්තමටත් ඉගෙන ගත්තේ.
අලුතෙන් අටවාගත්ත පැලේ මම ඉන්නේ තනියම. ඉඩමේ වැඩ මම ගොයිරාලගෙ ඉඩමෙයි කුඹුරෙයි වැඩත් එක්ක එකක් හැටියට දැක්කේ. ඒ නිසා මට වැඩි වෙනසක් දැනුනෙ නෑ අලුත් ඉඩම කියලා. මම ගොයිරාලට උදව් කරනවා වගේ ගොයිරාල මටත් උදව් කරනවා. වෙන එකක් තියා, සමහරවිට මගෙ ඉඩමේ වැඩකරලා අපි දෙන්නම ගොයිරාලගෙ ගෙදර ගියා දවල් කෑමට.
උපාසකම්මාගෙ පෙරැත්තේ නිසා දවස් කීපෙකට සැරයක් එහෙන් කෑවට අනික් දවස්වල මම මට පුලුවන් දෙයක් තම්බාගෙන කෑවා. වත්තෙන් එන අල බතල එලවලු ඇරුනුකොට වැවෙන් මාලු අල්ලන්නත් මදු ගහලා හාවෙක් මීමින්නෙක් වගේ පොඩි සතෙක් අල්ලගන්නත් මට පුරුදු උනා. ගොයිරාලලා මස් මාලු නොකෑවට මට ඒකේ වැරැද්දක් පෙනුනෙ දැනුනෙ නෑ.
රෑ උනාට පස්සේ මම පැලෙන් වැඩිය එහෙ මෙහෙ යන්නෙ නෑ. ඉර බහින්න කලින් රෑ කෑමට මොකවත් ලෑස්ති කරලා මම ඇලෙන් ඇඟ හෝදගෙන පැලට එන්නේ ආයෙ කොහෙවත් යන්ට බලාගෙන නෙවෙයි. එක පොල්තෙල් පහනක් මල් පැලේ පත්තු කරලා ඒ අයිනේ තියෙන පොල් කොටේ උඩ වාඩි වෙලා දවසේ උන දේ ගැන හිතන්න මට දැන් පුරුදු වෙලා.
ඉර බැහැලා අඩ හඳක් හරි තියෙන රෑට පලාතම නිස්කලංකයි. මාසේ පෝය දවස්වල තරු එලියෙන් උනත් ගහ කොල බලාගන්ට පුලුවන්. කම්මලෙන් ඉල්ලාගත්ත යකඩ කෑලිවලින් ගැට ගහපු ටකේ හුලඟට වදින සද්දෙන් පාලුව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. මේ වගේ වෙලාවට මට හිත එකලස් කරගෙන එක එක පලාත් බැලීම ලේසියි.
රිටිගල ලොකුහාමුදුරුවෝ කියාපු විදිහට මොලෙන් බැලීම දවසේ වෙලාවට තදින් බැඳිලා නෑ. මගෙ පැලට රෑ උනත් අනික් පලාත්වල උදේ හරි දවල් වෙලාවට බලන එක මම මගෙ පලවෙනි ඉලක්කේ කරගත්තා. හවසටයි රෑටයි මට ඕනෑ තරම් නිදහස තියෙන නිසා මේක වැදගත් කියලා මට හිතුනේ. අනුරාදපුරෙන් නැගෙනහිරටයි බස්නාහිරටයි මුහුද තෙක් යන එකටත් වැඩිය මම කාලෙන් කාලෙට යන එක ගැන මහන්සි උනා. මට මාසයකටත් වැඩිය කල් ගියා එක කාලෙක ඉඳන් වෙන කාලයක් බලන ක්රමය තේරුම් ගන්න.
ඉස්සරවෙලාම මම හිතුවා මොලෙන් බලනකොට බලන පලාතේ පින්තූරයක් හිතේ ඇඳෙනවා ඇති කියලා. ඒ කියන්නේ පලාතේ තියෙන ගස්කොලන්, සත්තු, මිනිස්සු එහෙම බලන වෙලාවේ හරියටම ඉන්නේ කොතනද කියලා හිතේ ඇඳෙනවා. ඒ විතරක් නෙවෙයි මොහොතෙන් මොහොතට පින්තූරේ වෙනස්වෙන හැටිත් හිතේ ඇඳෙන්ට ඕනෑ. ඊටත් වැඩිය එතන වෙන සද්දත් ඇහෙන්න ඕනෑ. මේක හරියට ඇහැයි කනයි ඉලක්ක පලාතට යැව්වා වගේ.
රිටිගල උන්නාන්සේ කියපු විදිහට ඉස්සර උන දේත් බලන්ට පුලුවන්ලු. ඒ කියන්නේ, හිතේ මොහොතෙන් මොහොතට ඇඳෙන පින්තුර කොහේ හරි ගබඩාවෙලා තියෙනවා ඇති පේලියට. මට හිතුනේ මේක හරියට පාරක් දිගේ ගමනක් යනවා වගේ. අපිට පුලුවන් ඕනෑ වෙලාවක ගමනෙදි පහු උන තැන් මතක් කරන්න - “ඉර පායනකොට අර ලොකු පලු ගහ ලඟ හිටියේ - එතන හරියට කුරුල්ලන්ගේ සිංදු ඇහුනා”. මට තියෙන්නේ හිතේ ඇඳෙන පින්තූර පේලියෙන් මට ඕනෑ තැනට ඇහැයි කනයි යවන එක.
මේ අදහස් හරිද නැද්ද කියලා සොයාගන්ට ඉස්සරවෙලාම මම බලන්ට හොඳ තැනක් තෝර ගන්න තීරණය කරා. මට හිතුනේ හොඳටම පුරුදු තැනක් තෝරා ගත්තනම් හිතේ පින්තූර අඳින එක ලේසි වෙයි කියලා. මගේ ගෙදර පොඩ්ඩ ඒකට ගැලපෙනවා කියලා හිතුනා.
දවසක් මම හවස පහන එහෙම පත්තු කරලා පොල් කොටේ උඩ වාඩි වෙලා වටපිටාව හොඳ හෝදිස්සියෙන් බල බලා හිටියා. මේ තැන මට කොච්චර පුරුදුද කිව්වොත් ඇස් වැහුවත් අවට දේ පෙනෙනවා වගේ. පියාඹන වවුලන්ගේ කන්දොස්කිරියාව ගැන හිතනකොට මට මතක් උනා ලොකු අත්තා කියපු දෙයක් - උන් රෑට කෑම හොයාගෙන යන්නේ, දවල්ට නෙවෙයි.
මම ඇස්දෙක වහගෙනම වටපිටාව හිතෙන් බැලුවා. බලන ගමන් මම හිතුවා ඉර බහැලා යන්න ඉස්සර වව්ලන්ගේ සද්දේ වෙනුවට තියෙන්නේ මයිනෝ, ගිරවු වගේ කුරුල්ලන්ගේ සද්ද. මෙහෙම ටිකක් වෙලා ඉන්නකොට මට ඇත්තටම අහෙන්ට පටන් ගත්තා දවල් කුරුලු සද්ද, වවුල් සද්ද වෙනුවට. ඒ සීරුවෙන්ම ඉඳලා මම හෙමීන් ඇස් ඇරියා - ඉර බැහලා ගිහින් නෑ, තවම දවල්.
මම රෑවෙලා ගෙදර ලඟ පොල් කොටයක් උඩ වාඩිවෙලා ඉන්නේ; හැබැයි මට මොලෙන් පෙනෙන්නේ දවල් වරුවේ ගෙදර වත්ත තිබුන හැටිය. මම ගස් අතරෙන් එහාට මෙහාට ඇවිද්දා මට පෙනෙන දේ වෙනස්වෙන හැටි බලන්න. හරියට මගෙ ඇස් දෙකයි කන් දෙකයි ගමනක් ගිහින් වගේ. මට පුදුම සන්තෝසයක් දැනුනා. මම කොස් ගහ උඩට හිතෙන් නැගලා උඩ ඉදන් ඉඩම වටේ පෙනෙනතෙක් මානේ ඈත බැලුවා. මට පන්සලේ ඉඩං විතරක් නෙවෙයි හේන්, කැලෑ එහෙමත් පෙනුනා.
මම ආපහු එන්න හිත එකඟ කරගෙන පරෙස්සමෙන් ඇස් ඇරියා. ගෙදර හවස තිබුන විදිහටම තියෙනවා - පහනත් තිබුනා වගේම පත්තුවෙනවා. එතකොට මට හිතුනා මගෙ ගමන සම්පූර්නයි කියලා.
එදා පටන් මම නිතරම වගේ එක එක වෙලාවට මගෙ ඉඩමයි ගොයිරාලගෙ ඉඩමයි බැලුවා. ඉඳල හිටල සීගිරියෙත් රිටිගලත් බැලුවා. දවසක් දෙකක් රිටිගල ලොකුහාමුදුරුවො එක්ක කතා කරා - මම හවස පොල් කොටේ උඩ වාඩිවෙලා, උන්නාන්සේ උදේ සක්මන් කරනවා. කොහොම උනත් උන්නාන්සේ දැනගත්තා මම කතා කරන්නේ හවස කියලා. මට එකම දෙයයි කිව්වේ:
“කරන දෙයක් පරෙස්සමෙන්”
මම ලොකු අත්තට කතාකරන්ට හිතාගෙන ඉන්න දවසක තමයි ගොයිරාලගෙ කොරටුවට හොරු පැන්නේ.
එදා ගොයිරාල මගෙ පැලට ආවා උදෙන්ම.
“අද මට උදව්වක් ඕනෑ වැටක් හදාගන්ට - කුඹුරේ පාවුල කොරටුවේ”
“ඇයි තිබුන වැට අබලං වෙලාද - පෙරේදා හොඳට තිබුනේ?”
“ඊයෙ රෑ කවුද ඇවිත් කඩල දාලා - ඉරිඟු ටිකත් තලලා දාලා”
“ඌරෝ?”
“ඌරෝ පිහියෙන් වැටයි පැලයි කපන්නේ නෑ…” ගොයිරාල දුකෙන් කිව්වේ. මේ කොරටුව එයාගෙ දුවත් එක්ක එකට හදාපු එකක්.
මට පුදුමයි කවුද මෙහෙම දෙයක් කරන්නේ පන්සලේ ඉඩමකට කියලා. මම ප්රස්න අහන්ට හිටියෙ නෑ - ආයුදත් ඇරගෙන අපි දෙන්නා කෙලින්ම ගියා කොරටුවට.
දැක්ක ගමන්ම පේනවා මේක හොරකමක් නෙවෙයි තරහට කරපු දෙයක් කියලා. තිබුන ඉරිඟු කරල් කීපෙත් බිම - මිරිස් තවානේ මිනිස් අඩි පාරවල්.
මම කතාවක් නැතුව වැටේ ගන්ට පුලුවන් කනු එක ගොඩකට එකතු කරා. කපා දමා තිබුන ඒවා වෙනුවට ඉනි කැපුවා. ගොයිරාල විනාස වෙලා තිබුන පැලෑටි ගලවලා ගොඩ ගැහුවා. ඊට පස්සේ, බේරා ගන්ට පුලුවන් පැල ආයෙත් කෙලින් කරා කෝටු ගහලා. අපි කතා නොකර වැඩ කරා නංගී ඉඹුල් කිරිබත් එක්ක වතුර කලෙත් අරන් එතෙන්ට එනකන්. නංගිගෙ මූන දිහා බලන්ටත් බෑ, එයා බොහොම අමාරුවෙන් නොඅඬා ඉන්ට උත්සාහ කරනවා.
“මේවගෙ පොල් පැනිද නංගී?”
“මං දන්නවනේ අයියා කැමති දේ”
“මාසෙයක් යනකොට කොටුව තිබුනටත් වැඩිය හොඳ වෙයි”
බොහොම සුරස්සිත වෙන්ට වැට හදලා ඉවර වෙනකොට මද්දහනත් වෙලා. ලොකු අත්තගෙන් ඉගෙන ගත්ත ජාතියේ වැටක් මම හැදුවේ.
අපි වැඩ ඉවර කරලා ගොයිරාලලගෙ ගෙදර යන ගමන් තමා අපි කතා කරේ.
“මේක කවුරු කෙරුවා කියලද හිතන්නේ?”
“අනේ මං දන්නෙ නෑ. කවුරු උනත් හොඳට ලෑස්ති පිට ඇවිත් තියෙන්නේ”
“ඒ කොහොමද?”
“වැටේ මම එල්ලලා තිබුන ගෙජ්ජි ඉස්සරවෙලා ගලවලා ඇවිත් තියෙන්නේ සද්ද ඇහෙයි කියලා”
“මං හොයලා බලන්ටද අවට අයට කතා කරලා?”
“දැනගත්තත් මට මොකුත් කරන්ට බෑ”
“හාමුදුරුවන්ට කියන්ට වෙයි නේද?”
“අද හවස ගියාම කියනවා”
ගොයිරාලගෙ ගෙදරින් දවල්ට කාල මම මගෙ පැලට ගියේ මේක කරපු එකා හොයාගන්නවාමයි කියලා හිතාගෙන.
එදා හවස මම මල් පැලේ පහන පත්තු කරලා පොල් කොටේ උඩ වාඩිවෙලා බැලුවා ඊයේ රෑ උන දේ. ඊයේ ඉර බැස්ස වෙලාවේ ඉදන් මහ රෑ වෙනකන් මම හෝරාවෙන් හෝරාවට වගේ කොරටුව දිහා බැලුවා. හඳ බැහලා ගියාට පස්සෙ හෝරාවේ බලනකොට මම දැක්කා වැට කැඩිලා කියලා. එතනින් ටික ටික පස්සට ගිහින් බලනකොට මම දැක්කා කොල්ලෝ දෙන්නෙක් වැට දිහාට එනවා. එතන ඉඳන් මම කිට්ටුවෙලා බැලුවා වෙලාවෙන් එහාට මෙහාට පනින්නේ නැතුව.
ඇලේ පහල ගමේ සෙව්රංගයි උගෙ මලයයි කරුවලේම ඇවිත් වැට කඩනවා.
“උංගෙ කෙල්ල මට දෙන්න බෑ කියපු එවුන්ට මෙහෙමයි මම සලකන්නේ”
මෙහෙම කතාවක් මම අහල තිබුනෙ නෑ. නංගී තවම පොඩි කෙල්ල. ඊටත් සෙව්රංගා වගේ එකෙක් ගෙදෙට්ට වද්දා ගන්ට ගොයිරාලලා කොහොමටවත් කැමති වෙන්නේ නෑ. මම හෙමින් ඇස් ඇරලා මොලෙන් බැලීමෙන් මිදිලා ආපහු ආවා.
මම හොයාගත්ත දේ කාට කියන්ටද. කොහොමද හොයාගත්තේ කියලා ඇහුවොත් මොකද කියන්නේ. පන්සලේ ලොකු හාමුදුරුවන්ට විතරයි කියන්ට පුලුවන්. තවම වැඩිය රෑවෙලත් නැතිනිසා මම හඳ එලියෙන්ම පන්සලට ගියා.
මගෙ හොඳ වෙලාවට ලොකු හාමුදුරුවෝ දායකයෝ කීප දෙනෙක් එක්ක බන මඩුවේ කතා කර කර හිටියා. මම එලියට වෙලා හිටියා උන්නාන්සේ කතා කරලා ඉවර වෙනකන්, බිම බලාගෙන කකුලෙන් වැල්ලේ කුංදු ඇඳ ඇඳ. එක සැරෙයක් ඔලුව උස්සලා කොට බිත්තිය උඩින් බලනකොට උන්නාන්සේ මං දිහා බලාගෙන ඉන්නවා. වයසක් උන්නාන්සේ අමාරුව්න් පුටුවෙන් නැගිටලා, දායකයන්ට මොකද්දෝ කියලා හෙමින් හෙමින් එලියට ආවා.
“ආරංචියි කිරාට පොඩි කරදරයක් කියලා…”
“එහෙයි හාමුදුන්නේ”
“තමාගේ ඉඩමට මොකොවත් වෙලා නෑ?”
“නෑ හාමුදුන්නේ”
“ඒ කරදරේ ගැනද ආවේ”
“එහෙයි හාමුදුන්නේ”
හාමුදුරුවෝ කිසි දෙයක් නොකියා බෝදිය පැත්තට ඇවිදින්ට පටන් ගත්තා. මමත් පස්සෙන් ගියා.
“මොකද්ද කියන්ට තියෙන්නේ?”
මම මේක කියන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්නකොට උන්නාන්සේ ආයෙත් කතා කරා.
“දුනුකාරයන්ගෙ බලේ පාවිච්චි කරාද?” කවදාවත් මොලෙන් බලන එකට කවුරුත් එහෙම කියලා නෑ.
“…එහෙයි හාමුදුන්නේ…”
“ඉතින්?”
“හාමුදුන්නේ මම දැක්කා වැට කඩනවා….”
“කොහොමද කියලා කියන්ට ඕනැ නෑ. කවුද කරේ, මොන හේතුවක් නිසාද, මේක තවත් නරක පැත්තට හැරෙයිද කියලා කියන්ට පුලුවන්ද?”
“හාමුදුන්නේ මීට පස්සේ මොක වෙයිද දන්නෙ නෑ. හැබැයි වැඩේ කරේ ඇලේ පහල ගමේ සෙව්රංගයි උගෙ මලයයි, අපෙ නංගී බැඳගන්ට දෙන්නෙ නෑ කියලා” මම එක හුස්මට කිව්වා. හාමුදුරුවෝ ටිකක් කල්පනා කරා.
“…හ්ම්….මට මේක කියපු බවක්වත් කිරාට කියන්ට එපා. මම කොල්ලෝ දෙන්නගෙ අප්පත් එක්ක කතා කරගන්නං….සිරී මතක තියාගන්ට තමා කරපු දේ කරනවා වගේම වැදගත් ඒ ගැන කතා නොකරන එක….”
“…එහෙයි හාමුදුන්නේ”
“ඉඩමේ වැඩ එහෙම කොහොමද”
“හොඳින් කෙරෙනවා හාමුදුන්නේ…මට අවසර”